ලිබරල්වාදය පිළිබඳ සරල විග්‍රහයක්

ලිබරල් (liberal ) යන්නෙහි සරල අර්ථය වන්නේ 'නිදහස' යන්න ය. ඒ අනුව ලිබරල්වාදය යනු නිදහස අගය කරන්නා වූ දේශපාලන හා ආර්ථික මතවාදයක් ලෙස පෙන්වා දිය හැක. 18 සියවසේ ආරම්භයත් සමඟ යුරෝපය පුරා හමාගිය කාර්මිකකරණයේ සුළං ප්‍රවාහය දේශපාලන හා ආර්ථික මතවාදයන් රැසක මූලාරම්භයට දායක වූ ආසන්නතම සාධකය විය. ඒ අනුව කාර්මික විප්ලවයත් සමඟ ඇතිවු ආර්ථික දර්ශනයක් වූ 'ධනවාදයේ' (Capitalism) දේශපාලන මුහුණුවර ලෙස "ලිබරල්වාදය" හඳුන්වා දිය හැක.

කෙසේ වෙතත් පුද්ගල නිදහස පිළිබඳ අදහස් මුල්වරට ඉදිරිපත් කරනු ලැබෙන්නේ ලිබරල්වාදය ඉදිරිපත්වීමට සියවස් ගණනාවකට පෙරදී ය. ඒ ග්‍රීක යුගයේදී ය. ප්ලේටෝ, ඇරිස්ටෝටල් වැනි දාර්ශනිකයන් පුද්ගල නිදහස පිලිබඳ අර්ථ දැක්වූවෝ වෙති.

කෙසේ නමුත් 18 වන සියවසේදී මුල්වරට ලිබරල්වාදී අදහස් ඉදිරිපත්වීමට අඩිතාලම දැමූවකු ලෙස සමාජ සම්මුතිවාදී චින්තකයකු වන ජෝන් ලොක් පෙන්වාදිය හැක. 'රාජ්‍යයයේ පදනම මහජනයා වේ' ය යන්න ලිබරල්වාදයේ මූලික සංකල්පයකි. මෙම මතය බිහිවීමට බලපෑ ප්‍රධානතම සාධකයක් වන්නේ තත්කාලීන යුරෝපය තුල රාජ්‍යත්වය හා ව්‍යවස්ථාදායකය අතර වූ ගැටුමයි. (බ්‍රිතාන්‍ය කිරීටය හා පාර්ලිමේනතුව අතර පාලන බලය හිමිවිය යුත්තේ කවරකුට ද යන ගැටළුව මීට හොඳම නිදසුන යි.) මේ අනුව පාලනයේ වගකීම රාජ්‍යත්වයෙන් නිදහස්ව මහජන නියෝජිතයන් වෙත හිමිවිය යුතුය යන මතය ලිබරල් චින්තනය වර්ධනයට දායක විය.

එමෙන්ම නිදහස අගය කරමින් යුරෝපයේ සිදු වූ විප්ලවයන් ත්‍රිත්වයක් ද ලිබරල්වාදයේ පැතිරීමට හේතු සාධක විය. එනම් 1688 දී සිදු වූ ඉංග්‍රීසි විප්ලවය, 1776 දී වූ ඇමරිකානු විප්ලවය, 1789 දී සිදු වූ ප්‍රංශ විප්ලවය යි. මෙම විප්ලව ත්‍රිත්වයම පුද්ගල නිදහස අගය කරමින් රාජාණ්ඩු පාලනයන්ට එරෙහිව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කිරීම සඳහා සිදු වූ ඒවා විය.

ලිබරල්වාදයේ මූලික හරය වන්නේ පුද්ගලයාගේ ආර්ථික, සාමාජීය හා දේශපාලනික නිදහස තහවුරු කිරීමයි.

සම්භාව්‍ය ලිබරල් යුගය

18 වන සියවසේ මුල් කාලය තුල පැතිර ගිය ලිබරල්වාදී අදහස් සම්භාව්‍ය ලිබරල්වාදය ලෙස හැඳින්වේ. මෙම යුගය තුල දක්කනට ලැබුණේ මුල්කාලීන ලිබරල්වාදී චින්තකයන් වු ජොන් ලොක්, ඇඩම් ස්මිත් වැන්නවුන්ගේ අදහස් ය. සම්භාව්‍ය ලිබරල් යුගය තුල ඉස්මතු වු මූලික මතය වන්නේ රාජ්‍යය පුද්ගලයාගේ ආර්ථික හා සමාජ කටයුතු පාලනයට සහභාගී නොවිය යුතු බවයි. ඒ අනුව මෙම යුගය තුළ රාජ්‍යය 'නිර්බාධී' ලෙස හැසිරිය යුතුය යන්න අදහස් විය. මෙම සංකල්පය "නිර්බාධවාදී රාජ්‍ය" සංකල්පය ලෙස හැඳින්වීය.

සම්භාව්‍ය ලිබරල් චින්තකයන් පැවසු පරිදි "මිනිසා උපතින්ම සමාජය තුල තමන්ගේ ස්ථානය තහවුරුකරගැනීමේ ශක්තිය රැගෙන එයි. ඒ අනුව රාජ්‍යය කිසි විටෙක පුරවැසියන්ගේ ආර්ථික හා සාමාජීය කටයුතු වලට මැදිහත් නොවිය යුතුය. මිනිසුන් හට නිදහසේ ස්වකීය භෞතික සංවර්ධනය ඇතිකර ගැනීමට අවශ්‍ය වටපිටාව පමණක් රාජ්‍යය විසින් සැකසිය යුතුය. මිනිසුන් සියල්ලටම නිදහසේ සම්පත් අත්පත් කරගැනීමේ තරඟයට සහභාගී වීමට ඉඩහැර රාජ්‍යය පසෙකට වී බලා සිටිය යුතු ය", යන්න සම්භාව්‍ය ලිබරල් වාදීන්ගේ අදහස විය. මේ අනුව සම්භාව්‍ය ලිබරල් යුගයේ පැවති රාජ්‍යයට පැවරී තිබූ එකම කටයුත්ත "නීතිය හා සාමය ආරක්ෂා කොට පුද්ගල නිදහස හා අයිතීන් සුරැකීමට අවශ්‍යය පසුබිම සැකසීම පමණි". නිර්බාධවාදී රාජ්‍ය ක්‍රමය තුළ රාජ්‍යය පොලිස් නිලධාරියකුගේ භූමිකාව රඟදැක්වී ය.

සම්භාව්‍ය ලිබරල් චින්තනයේ ආර්ථික මුහුණුවර සැකසූවේ ස්කොට්ස් ජාතික ආර්ථික විද්‍යාඥයකු වූ 'ඇඩම් ස්මිත්' ය. ඔහු විසින් 1776 දී එලිදැක්වූ "ජාතීන්ගේ ධනය" (The Wealth of the Nations) කෘතියේ සඳහන් වන පරිදි "වයින් පෙරන්නා, බේකරි හිමියා හා මස් වෙළෙන්දා විසින් සිය පාරිභෝගිකයා හට ඉහළම ගුණාත්මක භාවයේ නිෂ්පාදන සපයන්නේ පාරිභෝගිකයා කෙරෙහි ඔවුන් තුළ ඇති හැඟීම නිසා නොව වෙළඳපළ තුළ පවතින අදෘෂ්‍යමාන හස්තයක් විසින් ඔවුන්ව පාලනය කරන නිසාවෙන් ය". මෙම අදෘෂ්‍යමාන හස්තය ලෙස ඔහු හැඳින්වූයේ වෙළඳපොළ බලවේගයි.

සම්භාව්‍ය ලිබරල් චින්තකයන් නිතරම නිදහස් තරඟයක් පිළිබඳ කතා කළ ද සමාජයේ සියළු දෙනා හට එක සමාන වේගයකින් දිවිය නොහැකි බව ඔවුහු නොසිතූහ. මෙම තරඟය නිසා අසරණ පීඩිතයන් කෙරෙහි සිදුවන සමාජ අසාධාරණය පිළිබඳ ඔවුන්ට කල්පනා නොවීය.


නූතන ලිබරල් යුගය

රාජ්‍ය නිර්බාධවාදය නිසා පීඩාවට පත් වු සමාජ කොටස් ඉතා වේගයෙන් සමාජවාදී අදහස් වෙත යොමු වීම නිසා ධනවාදය බිඳවැටීමේ අභියෝගයකට ධනේෂ්වරය මූහුණපැවේ ය. මේ පිළිබඳ සලකා බැලූ ලිබරල් වාදීන් 19 වැනි සියවසේ අගභාගයේ දී ලිබරල් චින්තනයේ න්‍යායාත්මක වෙනස් කමක් සිදු කළේය. ඒ අනුව සම්භාව්‍ය ලිබරල් යුගයේ දී රාජ්‍යය පුද්ගලයාගේ නිදහසට බාධා නොකර නීතිය හා සාමය ආරක්ෂා කිරීම පමණක් සිදු කල යුතුය යන මතය වෙනුවට රාජ්‍යය පුරවැසියාගේ සුභසාධන කටයුතු ද සිදු කළ යුතුය යන අදහස ඉස්මතු විය. මෙ අනුව සංශෝධිත ලිබරල් චින්තනය "සුභසාධනවාදය" ලෙස හැඳින්විණි.

සුභසාධනවාදය පිළිබඳ අදහස් දැක්වූ චින්තකයන් කීහිප දෙනෙකි. උපයොගීතාවාදීන් ලෙස හැඳින් වූ මෙම චින්තකයනගේ අදහස් සුභසාධනවාදයේ වර්ධනයට දායක විය. ඔවුන් අතර ජෙරමි බෙන්තම්, ජෝන් ස්ටුවඩ් මිල් හා ජොන් රෝල්ස් ප්‍රධාන වේ. මොවුන් සියළුදෙනා පැවසූවේ රාජ්‍යය පුරවැසියාගේ සුභසාධනයට කැපවියයුතු බවයි.

සුභසාධනවාදයේ ආරථික මුහුණුවර සැකසූයේ ඇමරිකානු ජාතික ආර්ථික විද්‍යාඥ ජෝන් මෙනාඩ් කේන්ස් විසිනි. ඔහු විසින් 1930 දශකය තුළ ලොවපුරා පැතිරුණු ආර්ථික අවපාතයට පිළියම් සෙවීමට කටයුතු සිදුකරන ලදී. කේන්ස්ගේ මතය 'කෙන්සියානු දර්ශනය' ලෙස ආර්ථික විද්‍යාව තුළ හැඳින් වේ. ඔහු සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයන් දැරූ මතය වූ 'සැපයුම මත ඉල්ලුම තීරණය වේ' යන්න ප්‍රතික්ෂේප කළේය. සාර්ව ආර්ථීක විද්‍යාවේ පියා ලෙස හැඳින්වෙන කේන්ස් 'හිඟ අය වැය' සංකල්පය අගය කළේය. මන්දයත් අයවැය හිඟයක් පවතින අවස්ථාවකදී රජය විසින් එම හිඟය පියවාගැනීමට විවිධ ක්‍රමෝපායන් මඟින් ආර්ථිකයට මුදල් පොම්ප කරයි.එලෙස රජය විසින් ආර්ථිකයට සිදුකරන විදීම් හා රජය විසින් සිදු කරන්නා වූ යටිතලපහසුකම් සංවර්ධනයත් ආර්ථික වර්ධනයට දායක වේ. මේ අනුව කේන්ස් විසින් ආර්ථික සංවර්ධනයට රජයේ දායකත්වය අගය කළේය.

නූතන ලිබරල් චින්තනයට අනුව රාජ්‍යය යනු පුරවැසියාගේ සුභසාධකයා ය. ඒ අනුව රාජ්‍යයට නීතිය හා සාමය ආරක්ෂා කිරීමට අමතරව සුභසාධන කටයුතු ද භාර විය.


නව ලිබරල් යුගය

නූතන ලිබරල් ප්‍රතිපත්ති යටතේ රාජ්‍යය 'සුභසාධකයකු' වීම පසුකාලීනව ගැටළුකාරී වූ අතර රාජ්‍ය විසින් සුභසාධන කටයුතු සිදු කිරීම රාජ්‍ය අයවැය මත විශාල බර පැටවීමක් විය. මේ අනුව ලිබරල්වාදීන් විසින් 1980-90 දශකයන් වලදී 'නව ලිබරල් චින්තනය' හඳුන්වා දුනි. මෙම ක්‍රමය යටතේ රජය විසින් පුරවැසියාගේ අවම කටයුතු ප්‍රමාණයක් කළමණාකරණය කරනු ලබයි. මෙම සංකල්පය "අවම රාජ්‍ය සංකල්පය" ලෙස හැඳින් වේ.

අවම රාජ්‍ය සංකල්පය යටතේ රාජ්‍යය විසින් නීතිය හා සාමය ආරක්ෂා කිරීමට අමතරව සුභසාධන කටයුතු කීපයක් හා රාජ්‍ය ආයෝජන හා යටිතලපහසුකම් සංවර්ධය වැනි කටයුතු සිදු කරයි. නමුත් ආර්ථිකය තුල පෞද්ගලික අංශයට වැඩි වශයෙක් ක්‍රියාකාරී වීමට රජය විසින් ඉඩ සලසා ඇත.

මෙම ක්‍රමය 'නිර්බාධවාදයෙන්' මදක් ඉදිරියට ගිය 'සුභසාධනවාදයෙන්' මඳක් පසුපසින් සිටින්නා වූ ක්‍රමයක් ලෙස සැලකේ.

අවම රාජ්‍ය සංකල්පයේ ආර්ථික මුහුණුවර සැකසීම ආර්ථික විද්‍යාඥ මිල්ටන් ෆ්‍රීඩ්මාන් විසින් සිදු කරන ලදී.

නව ලිබරල්වාදයට අනුව රාජ්‍යය යනු පුරවැසියාගේ අවමය කළමනාකරණය කරන කළමනාකරුවකු පමණි.

1980-90 දශක වල සිට අද දක්වා ලොව පුරා ක්‍රියාත්මක වන්නේ නව ලිබරල් චින්තන දහරාවයි. මෙම චින්තනයේ ප්‍රතිඵල ලෙස රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය, විවෘත ආර්ථික සංකල්පය වැනි දේශපාලනික හා ආර්ථික සංකල්ප හැඳින් විය හැක. නමුත් නව ලිබරල් චින්තනය ගෝලීය ගැටළු විසඳීමට ප්‍රශස්ත විකල්පයක් නොවන බව ඔප්පු වී හමාරය.

සැකසුම: කුසල් කාවින්ද අමරසිංහ විසිනි.
Share on Google Plus

Copyright Information

No part of this article (excluding images) may be reproduced, stored in or introduced into a retrieval system, or transmitted, in any form or by any means (electronic, mechanical, recording or otherwise), without the prior permission. Images on this article belong to their respective owners.
    Blogger Comment
    Facebook Comment

6 Comments :

  1. දේශපාලනයත් යනවා වගේ.. :D මේ පැත්ත ඕනේ අය හම්බවුනොත් එයාලට කියන්නම් site එක ගැන.. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගැජට් පොඩ්ඩා.. :D

      Delete
  2. //රාජ්‍ය නිර්බාධවාදය නිසා පීඩාවට පත් වු සමාජ කොටස්// මේ අය කවුද? නම්, ගම්, සංවිධාන, සිද්ධියක් ගැන උදාහරණ දෙන්න පුළුවන් ද?

    ReplyDelete
  3. නිර්බාධවාදී ආර්ථික රටාව තුළ පීඩාවට පත් වූ සමාජ කොටස් වූයේ ස්වභාවිකවම දේපළ අහිමි නිර්ධනයනුයි.ඔවුන් හට නිසි ආර්ථික හැකියාවක් නොවූයෙන් සමාජය තුළ සෑම අංශයකදීම පාහේ නිර්ධනයන් පීඩනයට ලක් වූවා.

    ReplyDelete
  4. Great work.I got a clear idea 😆

    ReplyDelete