යහපාලනය යනු...? what is 'Good Governance'?


මානව හා භෞතික සම්පත් වලින් හිඟයක් නොවූව ද තුන්වැනි ලෝකයේ නව රාජ්‍යයන් දේශපාලන,ආර්ථික හා සාමාජයීය යන තෙඅංශයන්ගෙන්ම සෙසු රටවලට වඩා පසුගාමී තත්ත්වයක පවතින්නේ මන්ද යැයි 1980 දශකය තුල ලෝක ප්‍රජාව විසින් නැඟූ ප්‍රශ්නයට පිළිතුරක් ලෙස ඉදිරිපත්වූ සංකල්පයක් ලෙස "යහපාලනය" (Good Governance) යන්න හැඳින්විය හැක.



මේ රටවල් සතුව කොපමණ ආර්ථීක සාධක පැවතුණ ද ආර්ථික වර්ධනය මන්දගාමී වීමත් ඒ හේතුවෙන් සමාජ සාධාරණත්වය බිඳවැටීමත් සිදුවී ඇති බව හඳුනාගැනුණි. ඊට බලපා ඇති කරුණු වූයේ; අනවශ්‍ය ලෙස බලය මධ්‍යගතවීම, පාලනයේ අකාර්යක්ෂම භාවය, රාජ්‍ය සේවය දේශපාලනීකරණය වීම, රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීමේදී ජනතා සහභාගීත්වයක් නොවීම, පාලකයන් වගකීමේන් තොරවීම, අල්ලස හා දූෂණය ඉහළ යාම වැනි සාධක ය.

යහපාලනය යන සංකල්පය ගොඩනැංවීමට අන්තර්ජාතික සංවිධාන රාශියක් සිය දායකත්වය ලබා දෙන ලදී. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන(UNDP), Transparency International ආයතනය, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ අතර මූලික වේ.
යහපාලනය යන සංකල්පය තුළ ගැබ්වී ඇති මූලික කරුණු කීපයකි. ඒවා නම්,


1.සහභාගීත්වය

මින් අදහස් වන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීමේදී ජනතා සහභාගීත්වය සෘජුවම දායක කරගැනීමයි.රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයෙහිලා ජනතාව සෘජුවම පාලන තන්ත්‍රය හා සම්බණ්ද වන්නේ රාජ්‍ය නොවන සංවිධාන හා සිවිල් සමාජ ක්‍රියාවලීන් යන දෙයංශය හරහාය.


2.නීතියේ ආධිපත්‍යය

යහපාලනයට පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදය තහවුරුවීමටද බලපානු ලබන සාධකයක් ලෙස නී‍තියේ ආධිපත්‍ය සංකල්පය හඳුන්වාදිය හැක.නීතිය සැමට පොදු ආරක්ෂකයකු ලෙස ක්‍රියාකිරීම,නීතිය ඉදිරියේ පාලකයාද පාලිතයාද එක සමාන ලෙස සැලකීම,පොදු නීතිය රටක උත්තරීතර නීතිය ලෙස සැලකීම,අධිකරණ ස්වාධීනත්වය යන සාධක නීතියේ ආධිපත්‍යය තහවුරු වීමට බලපානු ලබයි.


3.වගකීම

පාලකයන් විසින් රාජ්‍ය පාලනය සම්භණ්දව පුරවැසියන් හට වගකියනු ලැබිය යුතු බව.මහජන නියෝජිතයන් විසින් පොදු මහජනතාවගේ සුභසිද්ධිය උදෙසා ගනුලබන සියලු තීන්දු තීරණ පිළිබඳ ඔවුන් ජනතාව කෙරෙහි වගකිවයුතු බව මින් අදහස් වේ.


4.විනිවිද භාවය

රාජ්‍ය මූල්‍ය පාලනයේදී මහජන මුදල් නිසියාකාරව යොදවන ආකාරය පිළිබඳ ජනතාව නිසිලෙස දැනුවත් කිරීම හා ඒ පිළීබඳ මහජනතාවට දැනගැනීමට ඇති අයිතිය තහවුරුකිරීම විනිවිද භාවය යන සංකල්පයෙන් අදහස් වේ. වංචා, දූෂණ හා අල්ලස් වැනි නීතිවිරොධී ක්‍රියාවන් සම්භන්ධව නීත්‍යානූකූලව ක්‍රියාත්මක වීමත් විනිවිද භාවය සඳහා අත්‍යවශ්‍ය සාධකයකි.


5.ප්‍රතිචාරාත්මකභාවය

ජනතාවගේ හඬට පාලකයා ඇහුම්කන් දීම 'ප්‍රතිචාරාත්මකභාවයයි'. ජනතාවගේ අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකිෂීත කිරීමත් ඒ හරහා ජනතාවගේ අදහස් වලට ඇහුම්කන් දී එම අදහස් පාලන තන්ත්‍රයේ සුමටභාවය රැකගැනීම උදෙසා භාවිතා කිරීමත් ප්‍රතිචාරාත්මකභාවය නම් වේ.


6.කාර්යක්ෂම හා ප්‍රතිඵලදායී බව

රාජ්‍ය පාලනයේදී වඩාත් කාර්යක්ෂම අයුරින් හා ඵලදායී ලෙස කටයුතු කිරීම මින් අදහස් වේ.රාජ්‍ය මූල්‍ය නිසියාකාරව ආයෝජනය කර ඵලදායී ප්‍රතිලාභ ජනතාව වෙත හිමිකරදීම පාලකයන්ගේ වගකීමකි.ඒ වගේම රටේ මානව හා භෞතික සම්පත් ප්‍රතිඵලදායී ලෙස කාරයක්ෂමව යෙදවිය යුතුය.


7.සාධාරණත්වය

ජාතික ධනය නිසියාකාරව සෑම පුරවැසියකු වෙතම බෙදීයන ආකාරයෙන් ආර්ථීක සාධාරණත්වයක් සහමිතික භාවයක් පවත්වාගෙන යාම මින් අදහස්වේ.මීට අමතරව ආර්ථීක හා සමාජ සාධාරණත්වය සුරක්ෂීත කිරීම උදෙසා සෑම පුරවැසියකුගේම මානව හා මූලික අයිතීන් සුරක්ෂිත කිරීමත්, සැමට පොදුවේ නීතිය ක්‍රියාත්මක කිරීමත් පිළීබඳව ද අවදානය යෙමු වේ.


සමස්ථයක් ලෙස ගත්කළ යහපාලනය යන්න තුලින් අදහස් වන්නේ ආර්ථික,දේශපාලන හා සමාජ සාධාරණත්වය සුරක්ෂිත කරමින් වඩා පුළුල් ජනතා සහභාගීත්වයකින් යුක්තව ආර්ථීක හා සමාජ සංවර්ධනය ඉහළ නැවීමට කටයුතු කිරීමත් ඒ හරහා පුරවැසි ජීවන තත්ත්වය උසස් කිරීමත් ය.

සැකසුම: කුසල් කාවින්ද අමරසිංහ විසිනි.
Share on Google Plus

Copyright Information

No part of this article (excluding images) may be reproduced, stored in or introduced into a retrieval system, or transmitted, in any form or by any means (electronic, mechanical, recording or otherwise), without the prior permission. Images on this article belong to their respective owners.
    Blogger Comment
    Facebook Comment

3 Comments :

  1. ඉතා වැදගත් කාලීන ලිපියකි. ස්තූතියි කුසල්. හැකි නම් මෙය විකිපීඩියා සිංහල පිටුවට එක් කරන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝදරයා... අපගේ Blog අඩවියට ඔබගේ අදහස් ඉතා වටිනවා..

      Delete