ශ්‍රී ලංකාවේ බහුවිධ නීති පද්ධතිය

ශ්‍රී ලංකාවේ පවතින විශේෂ නීති.



උඩරට නීතිය -

උඩරට නීතිය බලපානු ලබන්නේ අතීත උඩරට රාජ්‍යයයේ පදිංචිකරුවන්ට ය. උඩරට රාජ්‍යය යනු කුමන භූමි ප්‍රදේශය දැයි නිශ්චිත නැත. 1952 අංක 44 දරණ උඩරට විවාහ හා දික්කසාද පනත අනුව උඩරට වැසියා යන්න අර්ථගන්වා ඇත.



එම අර්ථකතනයට අනුව මධ්‍යම පළාත,උතුරු මැද පළාත,ඌව පළාත, සබරගමුව පළාත හා උතුර, නැගනහිර, වයඹ යන පළාත්වල ඇතැම් දිස්ත්‍රික්ක උඩරට ප්‍රාදේශීය සීමාවට අයත් වේ. අතීතයේදී උඩරට නීතිය රාජ්‍ය සීමාව තුළට ඇතුල්වන සියල්ලන්ටම බලපාන පරිදි ප්‍රාදේශීය නීති ක්‍රමයක් ලෙස බලපැවැත්වුණි. ක්ර්ෂෝ එ,නිකෝල් නඩුවේදී උඩරට ප්‍රදේශයේ පදිංචි නේවාසික යුරෝපීය ස්ත්‍රියකගේ දේපල පිළිබඳව උඩරට නීතිය බලාත්මක වන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලදී. එහෙත් 1815 දී උඩරට රාජ්‍යයට අයත්ව තිබූ භූමිප්‍රදේශයන් හි පදිංචි සිංහලයින්ට පමණක් උඩරට නීතිය වලංගු වන බවට සැලකුණි. විලියම් එ. රොබට්සන් නඩුවේදී උඩරට නීතිය පුද්ගල නීතියක් වන බැවින් එය බලාත්මක වන්නේ උඩරැටියන් වන ස්වදේශිකයන්ට පමණක් බව දක්වයි. පසුකාලීනව එය උඩරට ප්‍රදේශයේ පංදිචිකරුවන්ට පමණක් බලපැවැත්වෙන පරිදි පුද්ගලානුබද්ධ නිති ක්‍රමවේදයක් ලෙස පරිවර්තනය විය. විජේසිංහ එ, විජේසිංහ නඩුවේදී උඩරට වෙසෙන පහතරට සිංහලයන් හට උඩරට නීතිය නොයෙදෙන බව තීන්දු කරන ලදී.

සැබෑ උඩරට නීතිය වර්තමානය වන විට ක්‍රියාත්මක නොවේ.එය කාලයෙන් කාලයට ඇතිවුණු නෛතික වෙනස්කම් මත විපරිවර්තනයට පත් විය.වර්තමාන උඩරට නීතියේ වහල්භාවය හා බහුපුරුෂ විවාහය වැනි අංග අඩංගු නොවේ.වර්තමාන උඩරට නීතිය විවාහය,අවසන් කැමැත්ත,ප්‍රවේණි උරුමය වැනි අංග සඳහා බලපානු ලබයි.උඩරට නීතිය වඩාත් සංකීරණ නීති ක්‍රමයක් නොවේ.ඒහෙයින් උඩරට නීතියේ අඩුලුහුඬුකම් මඟහරවාගැනීම සඳහා උසාවි වලදී රෝම - ලන්දේසි නීතිය භාවිතා කරනු ලබයි.ඉංග්‍රිසි නීතිය ද උඩරට නීතියේ වෙනස්කම් සඳහා බලපානු ලැබීය.


තේසවලාමේ නීතිය -

උතුරු පළාතේ ස්ථිර පදිංචිය ඇති ද්‍රවිඩ ජනයා හට බලපවත්වන්නා වු නීති ක්‍රමයක් ලෙස තේසවලාමේ නීතිය හඳුන්වාදිය හැක.ලංකා නීති ප්‍රඥප්තියේ 63 පරිජඡ්දයේ දැක්වෙන තේසවලාමේ නීති රෙගුලාසිය හා 1806 අංක 18 දරණ රෙගුලාසි ආඥාපනතේ 2 වගන්තිය අනුව යාපනයේ මලබාර් වැසියන්ගේ සිරිත් ලෙස හැඳින් වේ . මෙහි ‘තේස‘ යනු රට හා ‘වලමෛ‘ යනු සිරිත් යනුවෙන් ද්‍රවිඩයට වරනැඟේ. 1704 දී ලන්දේසි ආණ්ඩුකරු සයිමන්ස් විසින් යාපනේ දිසාවනිය භාර ක්ලාස් අයිසැක්ට දුන් නියෝගයකට අනුව එම ප්‍රදේශයේ ද්‍රවිඩජනයාගේ චාරිත්‍ර සංගෘහිත කරන ලදී. 1814 දී ඇලෙක්සැන්ඩර් ජොන්සටන් අගවිනිසුරු එය ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලදී. මේ නීති ක්‍රමය පරිපූර්ණ නීතික්‍රමයක් නෙවේ. වෙල්ලප්පා එ, කනපති නඩුවේදී මෙම නීතිය ඉතා අයහපත් ලෙසත්, ඉතා නොදියුණු ලෙසත් ,පැහැදිලි ලෙස කරුණු දක්වා නොමැති ලෙසත් වොල්ටර් විනිසුරු පෙන්වා දෙයි. වාචිකව පැවත ආ සම්ප්‍රදායික නීති ක්‍රමය වූ මෙය ලන්දේසි සමයේ ලේඛණගත කෙරුණි.එබැවින් මෙහි අඩුලුහුඩුකම් මකා දැමීමට රෝම ලන්දේසි නීතිය භාවිතා විය. පුත්තම්බි එ, මයිල්වාහනම් නඩුවේදී මෙන්ම තෙයිවාර් එ, සිවගාම් පිල්ලෙයි නඩුවේදී තීරණය වූයේ තේසවලාමේ නීතිය නිහඬ වන්නේ නම් රෝම - ලන්දේසි නීතිය භාවිත කළ යුතු බවයි. වර්තමානයේ මෙය පුද්ගයන්, විවාහය, ප්‍රවේණිය හා අන්තිම කැමැත්ත වැනි කරුණු හා සම්බණ්ද නීති ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක වේ.

මුස්ලිම් නීතිය -

මුස්ලිම් නීතිය යනු උඩරට හා තේසවලාමේ නීතිය වැනි ප්‍රදේශයන්ය සීමා වූ නීතියක් නෙවේ.නමුත් මෙය ඉස්ලාම් දහම අනුගමනය කරන ඕනෑම පුද්ගලයකු මත බලපැවැත්වේ.මෙහි මූලාශ්‍ර ඉස්ලාමිය දහම මත පදනම් වේ.ඉස්ලාම් දහම වැළඳගන්නා ඕනෑම පුද්ගලයකු හට මුස්ලිම් නීතිය අදාල වේ. මේ නීතිය මෙරට සියළු මුසලමානුවන්ට බලපැවැත්වෙන බව ඛාන් එ, මරික්කාර් නඩුවේදී සාකච්ඡා විය. එමෙන්ම මුස්ලිම් නීතිය යනු කුරාණය මුල් කරගත් ශරියා නීතිය ඒ අයුරින්ම මෙරට තුළ ක්‍රියාත්මක නොවීමක් බව රජ එ, මස්කින් උම්මා නඩුවේදී බට්‍රම් අගවිනිසුරු පැවසීය. එනම් මුස්ලිම් නීතිය යනු අති මහත් වූ නීතියක කොටසක් පමණක් දළ වශයෙන් සටහන් කිරීමක් පමණක් වන බවයි. මෙරට තුළ ඉස්ලාම් ආගම වැළඳගත් ඕනෑම අයෙකුට මුස්ලිම් නීතිය වලංගු වන බව නීතිපති එ, රීඩ් නඩුවේදී පැහැදිලි වූ කරුණකි. කෙසේ වූවද අබේසුන්දර එ, අබේසුන්දර නඩුවේදී තීරණය වූයේ අයෙකු ඉස්ලාම් ආගම වැළඳගත් පමණින් ඔහුට මුස්ලිම් නීතිය එලෙසින්ම අදාල නෙවන බවයි(බහුවිවාහය වැනි කරුණු).

මුක්කුවාර් නීතිය -

ඉන්දියාවේ නැගනහිර වෙරළබඩ ප්‍රදේශයෙන් මෙරටට සංක්‍රමණය වූ ද්‍රවිඩ ජන කණ්ඩායමක් ලෙස හැඳින්වෙන මුක්කුවාර් වරු මෙරට කල්පිටිය,මඩකලපුව වැනි ප්‍රදේශයන් හි පදිංචි විය. 1876 අංක 15 දරණ විවාහක අයිතිවාසිකම් හා උරුම ආඥාපනත බලපැවැත්වීම ආරම්භ වන තෙක් මුක්කුවාර් තීතිය චාරිත්‍රානුකූල නීතියක් ලෙස සැළකුණි.මුක්කුවාර් නීතියේ විශේෂිත ලක්ෂණ වූයේ දේපල උරුම වීම මවගේ පාර්ශවයෙන් සිදු වීමත්,අනුප්‍රාප්තිය මව අනුව ඇති වීමත්, වඩා වටිනා දේපල පාලනය ස්ත්‍රීන්ට නොව පුරුෂයන්ට හිමි වීමත් ය.



කෙසේ වෙතත් වර්තමානයේ දී මෙම නීතිය අවභාවිත වේ. වයිරමුත්තතු එ, මුට්ටතම්බි නඩුවේදී රික්වෙස්ට් උසාවි කොමසාරිස් වරයා පැවසූවේ මඩකලපුවේ මුක්කුවාර් ජනයාගේ නීතිය පිළිගැනීම අවසන් වී ඇති බවයි.

රෝම - ලන්දේසි නීතිය -

රෝම - ලන්දේසි නීතියේ මූලිකාංග ලන්දේසි ජාතික නීතිවේදියකු වූ ‘සිමොන් වැන් ලියුවෙන්’ විසින් හඳුන්වාදෙන ලදී.රොමානු නීති ක්‍රමය හා ජර්මානු-නේදර්ලන්ත සම්ප්‍රදායන් මිශ්‍ර කර ලන්දේසි පාලන අධිකාරි සමයේදී නීති ක්‍රමය හඳුන්වා දෙනු ලැබීය. ලන්දේසි විසින් පෙරදිග රාජ්‍යයන් යටත් කරගැනීමෙන් අනතුරුව එම යටත් විජිත වල සිය නීති ක්‍රමය ස්ථාපිත කරන ලදී.ඒ අනුව ලන්දේසින් ලංකාවට පැමිණීමෙන් අනතුරුවද ඔවුන්ගේ නීති ක්‍රමය මෙරට ස්ථාපිත කරනු ලැබීය. ලන්දේසින් විසින් මෙරටට රෝම - ලන්දේසි නීතිය හඳුන්වාදුන් ආකාරය පිළිබඳ පැහැදිලි සාක්ෂියක් නැත.ඉංග්‍රිසින් ද සිය පාලන සමය තුළ දී රෝම - ලන්දේසි නීතිය භාවිතා කරනු ලැබීය.රෝම - ලන්දේසි නීතිය යනු සංකිර්ණ නීති පද්ධතියකි.


උඩරට,තේසවලාමේ හා මුස්ලිම් නීතිය වැනි පුද්ගලානුබද්ධ නීති ක්‍රමවේදයන් හි අඩුලුහුඬුකම් මත තීරකයන් හට තීන්දු ලබාදීමේ ගැටලු ඇති වූ විට අදාල අඩුපාඩුව මඟහැරවා ගැනීමට රෝම ලන්දේසි නීතිය භාවිතා කෙරුණි.මේ සාධකය අනුව රෝම ලන්දේසි නීතිය මෙරට පොදු නීතිය ලෙස හඳුන්වනු ලබයි.


රෝම ලන්දේසි නීතිය මෙරට ස්ථාපිත වීම සම්භණ්දව යාපනයේ ලන්දේසි අණදෙන නිලධාරී ඒ.පැවිලියන් ගේ ප්‍රකාශනය වඩා වැදගත් වේ එනම්,“මාතෘභූමිය තුළ (ඕලන්දය) බලාත්මක වන නීතියට හා බතාවියානු නීති වලට අනුකූලව ලන්දේසින් කෙරෙහි යුක්තිය පසිඳලනු ලැබේ.ලංකාවේ දේශීය සිරිත් විරිත් හා නීතින් පැහැදිලි හා යුක්ති සහගත නම් ඒවාට අනුව ද නැතිනම් අපේ නීතින්ට අනුව ද ස්වදේශිකයන් පාලනය කරනු ලැබේ“ කරොන්චිහාමි එ, අංගොහාමි නඩුවේදී ප්‍රකාශ වූයේ රෝම ලන්දේසි නීතිය මෙරට ක්‍රියාත්මක වන්නේ එය මෙරටට ගැලපෙන පරිදි හඳුන්වාදුන් ප්‍රමාණයට පමණක් වන බවයි. එමෙන්ම සිල්වා එ, බාලසූරිය නඩුවේ දී සඳහන් වූයේ ලන්දේසි නීතිය මුළුමනින්ම කිසිවිටෙකත් ලංකාව තුළ භාවිත නොවන බවයි.


පසුකාලීනව රෝම ලන්දේසි නීතිය පැවැති ප්‍රදේශ වලට ඉංග්‍රිසි නීති සම්ප්‍රදායන් හඳුන්වාදෙනු ලැබීය. උදාහරණයක් ලෙස කලින් මෙරට පැවති රෝම ලන්දේසි අපරාධ නීතිය වෙනුවට ඉංග්‍රීසි අපරාධ නීතිය ස්ථාපිත කරන ලදී.වර්තමානය වන විට රෝම ලන්දේසි නීතිය දේපළ,විවාහ හා දික්කසාද,බැඳීම්,උරුමය,ගිවිසුම් හා සිවිල් වරදවල් සම්බණ්ද විෂය පථයක් තුළ ක්‍රියාත්මක වේ.

ඉංග්‍රිසි නීතිය - 

ඉංග්‍රිසි පාලන සමයේදී හා ඊට පසුකාලීනව ඉංග්‍රිසි නීතිය මෙරටට හඳුන්වා දෙනු ලැබීය.මෙම නීතික්‍රමවේදය ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළට ඇතුළත් වූ ආකාර දෙකකි.පළමුවැන්න නම් විනිසුරුවන් විසින් නඩු තීන්දු ඉංග්‍රිසි නීතියේ මූලධර්ම අනුව ලබා දීමයි. Campbell v, Hall එංගලන්ත නඩු තීන්දුව හරහා යටත් විජිතයන් හි ඉංග්‍රිසි නීතිය ස්ථාපිත විය යුතු වන්නේ කෙසේදැයි යන්න තීරණය කෙරුණි. දෙවැන්න නම් පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායකය හරහා ඉංග්‍රිසි නීතික්‍රමය මෙරටට හඳුන්වා දීමයි. මේ අනුව පෙර දී රෝම ලන්දේසි නීතිය ස්ථාපිතව පැවති ප්‍රදේශ වල පසුකාලීනව ඉංග්‍රිසි නීතිය ස්ථාපිත විය. 1852 දී ඉංග්‍රිසි නීතිය පිලිබඳ අඥ්ඥා පනත හරහා මෙරටට ඉංග්‍රිසි නීතියේ මූලධර්ම හඳුන්වා දෙන ලදී. වර්තමානයේ දී ඉංග්‍රිසි නීතියේ මූලධර්ම විනිමය බිල්පත් පිළිබඳ නීතිය,හවුල් ව්‍යාපාර නීතිය,බැංකු ව්‍යාපාර,භාණ්ඩ ප්‍රවාහනය පිළිබඳ,රක්ෂණය පිළිබඳ ,වංචනික ක්‍රියා පිළිබඳ, අවසන් කැමැත්ත, අපරාධ නීතිය හා ව්‍යවස්ථානුකූල නීතිය යනු කරුණු සම්බණ්දව බලපැවැත්වේ.

ව්‍යවස්ථානුකූල නීතිය -
ව්‍යවස්ථානුකූල නීතිය යනු කාලීනව පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායකය විසින් සම්මත කරනු ලබන නීතීන් ය. වර්තමාන ශ්‍රී ලංකා නීතියේ ප්‍රධාන මූලාශ්‍රය වන්නේ ව්‍යස්ථානුකූල නීතියයි.ශ්‍රී ලංකාවේ සාමන්‍යය නීතිය ඉංග්‍රිසි නීතිය, රෝම ලන්දේසි නීතිය හා ව්‍යවස්ථානුකූල නීතිය යන් නීති ක්‍රම වල එකතුවෙන් සැදුනකි.මෙම නීති ක්‍රම ත්‍රිත්වය මෙරට සාමානය නීතියේ කොටස් වේ. ශ්‍රී ලංකාවේ පොදු නීතිය නම් රෝම ලන්දේසි නීතියයි.ඒම නිසා පොදු නීතිය හා සාමාන්‍යය නීතිය අතර ඇති වෙනස වටහාගැනීම වඩා වැදගත් වේ.

සැකසුම: කුසල් කාවින්ද අමරසිංහ විසිනි.
Share on Google Plus

Copyright Information

No part of this article (excluding images) may be reproduced, stored in or introduced into a retrieval system, or transmitted, in any form or by any means (electronic, mechanical, recording or otherwise), without the prior permission. Images on this article belong to their respective owners.
    Blogger Comment
    Facebook Comment

2 Comments :