ෆැසිස්ට්වාදය පිළිබඳ සරල විග්‍රහයක්

Fascism යන ඉංග්‍රීසි වචනය fascico යන ලතින් වචනයෙන් නිෂ්පන්න වූවකි. එහි අර්ථය වන්නේ "එක්සත් බව හා ශක්තිය" යන්න යි. ෆැසිස්ට්වාදයේ සංකේතය වන්නේ පැරණි රෝම අධිරාජ්‍යයයේ සංකේතය වූ 'පොරව හා දරමිටිය' යි. ෆැසිස්ට්වාදය හුදෙක්ම උග්‍ර ජාතිකවාදී දේශපාලන දර්ශනයකි. මෙය මතවාදීමය වශයෙන් සමාජවාදය හා ලිබරල්වාදය එකහෙලා ම ප්‍රතික්ෂේප කරයි.


ෆැසිස්ට්වාදය යනු

ෆැසිස්ට්වාදය යනු ලිබරල්වාදයට හෝ සමාජවාදයට හාත්පසින්ම වෙනස් වූ චින්තන දහරාවකි. මෙය දර්ශනයකට හෝ න්‍යායකට වඩා ප්‍රායෝගික ක්‍රියාවලියක් නැතිනම් පුද්ගල අදහස් වල එකතුවක් ලෙස හැඳින් විය හැක. හර්බටි මාකියුස් නම් මාක්ස්වාදී චින්තකයා විසින් ෆැසිස්ට්වාදය හඳුන්වනු ලබන්නේ "ලිබරල්වාදයේ නිෂේධනය" ලෙසටය. එනම් ධනවාදයේ  අහෝසි වීම තුළ ෆැසිස්ට්වාදය බිහි වන බවයි. එනම් මෙම මතවාද ද්විත්වයම එකම මූලයකින් ආරම්භ වන බව සමාජවාදීන්ගේ මතයයි. ධනවාදී ආර්ථිකය ඒකාධිකාරී වීමේ ප්‍රතිඵලයක් ලෙස ෆැසිස්ට්වාදය බිහි වන බව ඔවුනගේ මතයයි.

(රූපය: ෆැසිස්ට්වාදයේ සංකේතය 'දරමිටිය හා පොරොව')
කෙසේ වෙතත් ෆැසිස්ට්වාදය තුළ සමාජවාදයේ සඳහන් සමාජ සාධාරණත්වය හා සමානාත්මතාවයත්; ලිබරල්වාදයේ සඳහන් පුද්ගල නිදහසත් යන මූලිකාංග ද්විත්වයම ප්‍රතික්ෂේප කරයි. මෙහි සඳහන් ප්‍රධානතම න්‍යායක් වන්නේ ආක්‍රමණශීලී ජාතිවාදය යි. 20 වැනි සියව‍සේ මැද භාගය තුළ ජර්මනිය, ඉතාලිය, ස්පාඥ්ඥය හා ජපානය වැනි රටවල් වල මෙම මතවාදය ක්‍රියාත්මක විය. ෆැසිස්ට්වාදය බිහි වීමට ප්‍රධාන වශයෙන් ෆෙඩ්‍රික් නිටිෂේ, හෙගල්, ඛාන්ට් වැනි විඥ්ඥාණවාදී චින්තකයන්ගේ ජාතිවාදී, බලවාදී හා බුද්ධි විරෝධී අදහස් මූලික විය.

1 වන ලෝක යුද්ධයෙන් පසුව බිදවැටුණු යුරෝපා ආර්ථිකය නැවත ගොඩනැංවීමට ලිබරල්වාදය අපොහොසත් වීම තුළ වාමාංශික හා උග්‍ර දක්ෂිණාංෂශික (ෆැසිස්ට්වාදී) චින්තන දහරාවක් යුරෝපය පුරා හඹා යන්නට විය. යුද්ධයෙන් පරාජය වු ජර්මනිය ඇතුළු රාජ්‍යයන් වලට යුද්ධයෙන් සිදු වු අලාභයට අමතරව යුධ වන්දි ද ගෙවීමට සිදු වු නිසා එම රටවල් උග්‍ර ආර්ථික අර්බුදයකය මූහුණදෙන ලදී. මෙම වකවානුව තුළ ජර්මනිය,ඉතාලිය හා තවත් රටවල් කීපයකම ෆැසිස්ට්වාදී පාලකයන් බිහි විය. ඔවුනගේ දැඩි ජාතිකවාදී අදහස් හා සංවර්ධන වැඩපිළිවෙල යුද්ධයෙන් පීඩිත වු ජනතාව කුල්මත් කරවන්නක් විය.



ෆැසිස්ට්වාදයේ මූලික ලක්ෂණ

01 - මතවාදීමය විරෝධය - ෆැසිස්ට්වාදය ලිබරල්වාදය හා සමාජවාදය සහමුලින්ම ප්‍රතික්ෂේප කරයි.

02 - රාජ්‍යයයේ උත්තරීතර භාවය - මේ අනුව ලිබරල්වාදයේ මෙන් පුරවැසියා උත්තරීතර නොවේ. ෆැසිස්ට්වාදයට අනුව පුරවැසියා නොවැදගත් සාධකයකි. උත්තරීතර වන්නේ රාජ්‍යයයි. (රාජ්‍යය මන්දිරයක් නම් පුරවැසියන් එය ඉදි කර ඇති ගඩොල් ය.මන්දිරයේ විභූතිය වර්ණනා කරනු මිස කිසවෙක් ගඩොල් පිළිබඳ කතා නොකරන්නේ ය.) 'සකල ශ්‍රේෂ්ඨත්වය රාජ්‍යය උදෙසා ය' යන්න ෆැසිස්ට්වාදීන්ගේ අදහසයි.

03 - ආක්‍රමණශීලී ජාතිකවාදය - ස්වකීය ජාතිය උසස්කොට හා අන්‍ය ජාතීන් පහත් කොට සැලකීම.මේ අනුව නිතරම අන්‍ය ජාතීන් මර්දනය කිරීම ෆැසිස්ට්වාදය තුළ පිළිගනී.

04 - නායකත්වයට දේවත්වය ආරෝපණය - රාජ්‍යය නායකයා පුරවැසියන්ගේ උත්තරීතර භාරකාරයාය.ඔහුගේ ආඥ්ඥා රාජ්‍යයයේ නීති වන්නේය.එමෙන්ම ඔහු උත්තරීතර හා පරම බලයෙන් යුක්ත ය යන්න.

05 - යුධකාමී භාවය - යුද්ධය අගය කිරීම. ෆැසිස්ට්වාදීන් පවසන පරිදි 'සාමය යනු දුර්වල ජාතීන්ගේ අඳෝනාවකි'. රාජ්‍යයක ප්‍රභලත්වය යුධ හැකියා මත තීරණය වේ යන්න ඔවුන්ගේ අදහසයි.

06 - මනෝමුලික වීම - ෆැසිස්ට්වාදයේ සඳහන් බොහෝ කරුණු අතාර්කික හා අනර්ථකාරී කරුණු වේ. එමෙන්ම කිසිදූ සත්‍යතාවයක් නොමැති කරුණු හා සාධක පිලිගනී.

07 - බුද්ධි විරෝධි භාවය - ෆැසිස්ට්වාදය සැම විටම බුද්ධියට ඉඩදෙන ස්වභාවයක් පෙන්නුම් නොකරයි.පුද්ගල හැඟීම් මත ගණුදෙනු කරන ආකාරයක් සැමවිටම පෙන්නුම් කරයි. (ජාතිවාදී හැඟීම් උද්දීපනය කිරීම)

මේ අනුව ෆැසිස්ට්වාදය සෑම විටම න්‍යායාත්මක පදනමක් මත නොව අතාර්කික ප්‍රායෝගික වැඩපිලිවෙලක් හා බැඳී පවතී.

ෆැසිස්ට්වාදය පිළිබඳ සලකා බැලීමෙදී  ලෝක ඉතිහාසය තුළ ෆැසිස්ට්වාදී පාලකයන් හා පාලනයන් කිහිපයක්ම හඳුනාගත හැක. ඒ අනුව ෆැසිස්ට්වාදයේ ප්‍රායෝගික පැතිකඩ එම පාලන තන්ත්‍ර තුලින් විමසා බැලිය යුතු ය.


ඉතාලියේ මුසෝලිනි යටතේ ෆැසිස්ට්වාදය

1921 දී  ෆැසිස්ට් පක්ෂය පිහිටුවා ගන්නා බෙනිටෝ මුසෝලිනි 1934 වසරේ දී ඉතාලියේ බලයට පත්ව ඉතාලිය තුල ෆැසිස්ට් පාලනයක් ස්ථාපිත කිරීමට සමත් විය. ඔහු සිය පුවත්පත් මාර්ගයෙන් කොමියුනිස්ට්වාදය දැඩිලෙස විවේචනය කළ අතර මේ හේතුවෙන් කර්මාන්ත හිමියන් හා ඉඩම් හිමියන් ඔහුට සහය පලකරන්නට විය. රැකියා විරහිත තරුණයන් හා අපරාධකරුවන්ගෙන් සැදුම්ලත් ෆැසිස්ට් පක්ෂයේ සන්නද්ධ අංශය වූ 'කළු කමිස හමුදාව' විසින් විරුද්ධවාදීන් එකිනෙකා මර්දනය කිරීමට සමත් විය. රැකියා විරහිතභාවය තුරන් කිරීම, නව කර්මාන්ත ආරම්භ කිරිම, යටිතල පහසුකම් සංවර්ධනය, ආර්ථික වර්ධනය ඇති කිරීම වැනි පොරොන්දු මත බලයට පත් වූ මුසෝලිනි සංවර්ධනයට බහුවිධ ප්‍රතිපත්ති රාමුවක් ඉදිරිපත් ක‍ළේය. එහෙත් එය අසාර්ථක වු කල යුද්ධය මඟින් ස්වකීය ජාතියට උත්තරීරත්වයක් ආරෝපණය කිරීමට ඔහු ක්‍රියා කළේ ය. ඒ අනුව ජර්මනියේ නාසිවාදී පාලක ඇඩොල්ෆ් හිටිලර් සමඟ එක්ව 2 වැනි ලෝක යුද්ධයකට මුල පිරී ය. එහෙත් යුද්ධය අවසානයේ පරාජයට පත් මුසෝලිනි පලා යන විට අල්වා ගත් ඉතාලි වැසියන් විසින්ම ඔහු කෘර ලෙස ඝාතනය කරන ලදී.
(රූපය: හිට්ලර් සහ මුසෝලිනි)



ජර්මනියේ හිට්ලර් යටතේ නාසි වාදය

ෆැසිස්ට්වාදයේම උප ප්‍රවාදයක් ලෙස නාසිවාදය හැඳින්විය හැක. නාසි වාදය ජර්මනියට පමණක් සීමා වූවකි. නාසිවාදයේ ආරම්භක කථිකයා වන්නේ ඇඩොල්ෆ් හිටිලර් ය. මෙහි සෛද්ධාන්තික හරය ෆැසිස්ට්වාදය හා සම්භන්ද වන අතර 'ජර්මන් ජාතිය ලොව උතුම් ම ජාතිය වේ' යන්න මූලික න්‍යාය යි. 

(රූපය: නාසිවාදයේ සංකේතය)



හිට්ලර් 1933 දී ජර්මනියේ බලයට පත් විය. පාර්ලිමේන්තුව ගිනිබත් කළ ඔහු එතැන් පටන් ජර්මනියේ අසහාය නායකයා ද විය. ජර්මන් ජාතිය ලොව උතුම් ම ආර්ය ජාතිය ලෙස සැලකූ හිට්ලර් විශේෂයෙන්ම යුදෙව්වන් කෙරෙහි දැඩි වෛරයකින් පසුවිය. යුදෙව්වන් මර්දනය කිරීමේ ව්‍යපාපාරයක් ඔහු රටපුරා ගෙන ගියේ ය. 1 වැනි ලෝක යුද්ධයෙන් පරාජිත ජර්මනිය ලෝක බලවතා කිරීමේ අරමුණක් හිටිලර් තුල විය. ඒ අනුව දැඩි ආක්‍රමණශීලී ප්‍රතිපත්තියක් ගෙන ගිය ඔහු 1939 සැප්තැම්බර් 01දා පෝලන්තය ආක්‍රමණය කරමින් 2 වැනි ලෝක යුද්ධයට මුලපිරීය. හිට්ලර් විසින් ගෙන ගිය යුධ ව්‍යාපරය හේතුවෙන් ලක්ෂ ගණනක් යුදෙව්වන් ඇතුළු ජනයා මරණයට පත්විය.

අවසානයේ  1945 වසරේ මැයි වන විට මිත්‍ර පාර්ශවයේ රුසියානු හමුදා ජර්මනිය ආක්‍රමණය කළ බව සැලවූ හිට්ලර් සිය රහස් බංකරයේදී වෙඩිතබාගෙන සියදිවි හානි කරගත්තේ ය.



ජපානයේ ෆැසිස්ට්වාදී පාලනය

ආසියාවේ බලවතා වීමේ දැඩි වුවමනාවෙන් පසු වු ජපානය ද 20 සියවසේ මැද භාගය වන විට ෆැසිස්ට්වාදී පාලනයක් ගෙනයන්නට විය. ජපාන අධිරාජ්‍යය හා ජපන් ජාතිය උතුම් කොට සැලකූ ජපානය දැඩි ආක්‍රමණශීලී ප්‍රතිපත්තියක් ගෙන ගියේය. ඒ අනුව කිහිප විටක්ම චීනය හා අග්නිදිග ආසියාතික රටවල් ජපානය විසින් ආක්‍රමණය කරන ලදී.

(රූපය: ජපාන අධිරාජ්‍ය ධජය)



1940 වනවිට යුරොපයේ ෆැසිස්ට්වාදී රාජ්‍යයන් වූ ජර්මනිය හා ඉතාලිය මූලික වි ආරම්භ කළ මහා යුද්ධයට ආසියවෙන් දායක වීමට ජපානය ක්‍රියා කළේය. මේ සමය වන විට ජපානයේ නායකයායා වූයේ හිරෝහිතෝ අධිරාජ්‍යයා ය. අගමැති ලෙස උග්‍ර ජාතිවාදී නායකයකු වූ ෆැමිනාරෝ කොනෝයේ කටයුතු කළේය. අවසානයේ දී 1945 අගෝස්තු 06 හා 09 දා ඇමරිකාව විසින් හිරෝෂිමාවට හා නගසාකියට පරමාණු බෝම්බ දමා ජපානය මර්දනය කරන ලදී. මෙම විනාශයෙන් අනතුරුව ජපානය කොන්දේසි විරහිතව මිත්‍ර පාර්ශවයට යටත් වූ අතර එය 2 ලෝක යුද්ධයේ අවසානය ද විය.


ස්පාඤ්ඤයේ ජෙනරාල් ෆ්‍රැන්කෝ ගේ ෆැසිස්ට්වාදී පාලනය

1936 දී ස්පාඤ්ඤයේ බලයට පත්වන ජෙනරාල් ෆ්‍රැන්කෝ ද ෆැසිස්ට්වාදී පාලනයක් ගෙන ගියේ ය. ස්පාඤ්ඤ ජාතිකවාදය ඉතා දැඩිලෙස විශ්වාස කළ ජෙනරාල් ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝ මිලිටරි හා එකාධිපතිමය ස්වරූපයේ පාලනයක් ගෙන ගියේය. ෆ්‍රැන්කොගේ ඒකාධිපති පාලනයට එරෙහිව පැන නැගුනණූ සිවිල් යුධ තත්ත්වය ඔහු දරුණු ලෙස මර්ධනය කළේ ය. ෆ්‍රැන්කෝගේ පාලනය යටතේ  2 වැනි ලෝක යුද්ධයේ පාර්ශවකරුවකු ලෙස ස්පාඤ්ඤය ජර්මනිය හා ඉතාලිය ප්‍රමුඛ අක්ෂ පක්ෂයට සහය දැක්වීය. ඒ අනුව ස්පාඤ්ඤ හමුදා ජර්මන් යුධ පෙරමුණේ කටයුතු කරන ලදී. 1969 දී ජුවාන් කාලෝස් කුමරු හට පාලන බලය පවරන ෆ්‍රැන්කෝ 1975 දී මරණයට පත් විය.

වර්තමානය වනවිට ෆැසිස්ට්වාදය ලොව කිසිදු රටක ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක නොවුන ද අදටත් ෆැසිස්ට්වාදී අදහස් ලොව පුරා විවිධ ආකාරයෙන් පැතිර පවතී.

සැකසුම: කුසල් කාවින්ද අමරසිංහ විසිනි.
Share on Google Plus

Copyright Information

No part of this article (excluding images) may be reproduced, stored in or introduced into a retrieval system, or transmitted, in any form or by any means (electronic, mechanical, recording or otherwise), without the prior permission. Images on this article belong to their respective owners.
    Blogger Comment
    Facebook Comment

2 Comments :

  1. වැදගත් ලිපියක්.. බොහොම ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි..! online-educator බ්ලොග් අඩවියට ඔබේ දිරිමත් කිරීම බෙහෙවින් වටිනවා..!

      Delete