සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය හා මිනීමැරීම



මනුෂ්‍ය ඝාතනය යනු අපරාධයන් අතුරින් සිදු කළ හැකි දරුණුතම හා බරපතලම අපරාධය යි. මනුෂ්‍ය ඝාතනය යන්නේ සරල අර්ථය නම් පුද්ගලයකු විසින් තවත් පුද්ගලයකුගේ ප්‍රාණය නිරුද්ධ කිරීමයි. මෙය වඩාත් බරපතල අපරාධය ලෙස සැලකෙන්නේ පරම මානව අයිතිවාසිකම වන "ජීවත් වීමේ අයිතිය" මෙමඟින් උල්ලංඝණය වන බැවිණි. සදාචාරය අනුව සෑම මනුෂ්‍ය ඝාතනයක්ම යුක්ති සහගත නොවූණද නෛතික වශයෙන් යුක්ති සහගත හා සමාව දියහැකි ගණයේ මනුෂ්‍ය ඝාතන ඇත.
  1. නීත්‍යානුකූල මනුෂ්‍ය ඝාතන (Lawful Homicide)
  2. නීත්‍යානුකූල නොවන මනුෂ්‍ය ඝාතන (Unlawful Homicide)
මෙහිදී නීත්‍යානුකූල මනුෂ්‍යඝාතන යටතට සමාව දියහැකි හා යුක්ති සහගත මනුෂ්‍ය ඝාතන (නෛතික වශයෙන් පිළිගත්) ඇතුලත් වේ.සමාව දිය හැකි ගණයේ මනුෂ්‍ය ඝාතන වූ කලී යමෙකුගේ ජීවිතය තොර කිරීමේ අදහසින් හෝ චේතනාවකින් තොරව යම් කිසි ක්‍රියාවක් සිදු කිරීම තුළින් පුද්ගලයකුගේ මරණය සිදු කරන ලද අවස්ථා. එනම්,

  1. පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාවට නැංවීමේදී සිදු වන මනුෂ්‍ය ඝාතන (ද.නී.සං 93 වගන්තිය)
  2. නිසි ආරක්ෂාව යටතේ වූවද චේතනාවකින් හෝ දැනුමකින් තොරව නීත්‍යානුකූල ලෙස නීත්‍යානු කූල ක්‍රියාවක් සිදු කිරීමේදී අහඹු ලෙස හෝ අවාසනාවන්ත ලෙස සිදු වන ක්‍රියා (73 වගන්තිය)
  3. යමෙකුගේ යහපත තකා සද්භාවයෙන් යුතුව ඔහුගේ කැමැත්ත ඇතිව සිදු කරන ක්‍රියාවකින් මරණය සිදු වුණි නම්(81 වගන්තිය) ශ්‍රී ලංකාව තුළ මෙය සානුකම්පිත මරණය නොවේ.
  4. ව්‍යාකූල හෝ නොමේරූ මනසක් ඇත්තෙක් විසින් කරන ක්‍රියාවක් (75 – 78 වගන්ති)

යුක්ති සහගත මනුෂ්‍ය ඝාතන ලෙස,
  1. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම (298 වගන්තිය) සද්භාවයෙන් අධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක කරන්නකු (71 වගන්තිය)
  2. නීත්‍යානුකූල සටන් බිමකදී නීත්‍යානුකූල අන්දමින් සිදුවන සටනකදී සතුරන් ඝාතනය කිරීම හෝ නීත්‍යානුකූල ලෙස ඉහළින් ලැබුනා වූ අණක් නීත්‍යානුකූල මාර්ගයෙන් ක්‍රියාත්මක කිරීමේදී
  3. සානුකම්පිත මරණ - Euthanasia Death (ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක නොවේ. ස්විට්සර්ලන්තය තුල ක්‍රියාත්මකයි)
  4. පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිතා කිරීම (89,93 වගන්ති)
  5. යම් ක්‍රියාවක් සිදු කිරීමට නීතියෙන් බැඳී සිටින තැනැත්තකු නීතියෙන් තමා බැදී සිටින බව සද්භාවයෙන් විශ්වාස කරමින් නීතිය වැරදීමකින් නොව සිද්ධිය වැරදීමකින් සිදු කරන ක්‍රියාවක් (69වගන්තිය)නීතියෙන් හේතු යුක්තියක් ඇත්තකු හෝ නීතිය නොදැනීමෙන් නොව සිද්ධිය නොදැනීමකින් නීතියෙන් හේතු යුක්තියක් ඇතැයි සද්භාවයෙන් විශ්වාස කරන්නකු සිදු කරන ක්‍රියාවක් (72වගන්තිය)

 

නීත්‍යානුකූල නොවන(සාවද්‍ය) මනුෂ්‍ය ඝාතන (Culpable Homicide)

ශ්‍රි ලංකාව තුළ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය පිළිබඳ නෛතික විග්‍රහයක් ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 293 වගන්තියේ ය.
"මරණය සිදු කිරීමේ අදහසින් හෝ මරණය සිදුවිය හැකි අන්දමේ ශාරීරික පාඩුවක් කිරීමේ අදහසින් හෝ තමා සිදු ක්‍රියාවෙන් මරණය සිදු විය හැකි බව දනිමින් ම යම් ක්‍රියාවක් සිදු කිරීමෙන් මරණය සිදු කරන පුද්ගලයකු සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය වරද සිදු කරයි."

මේ අනුව අනෙකුත් අපරාධයකදී ම මෙන්ම සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය තුළද "සාවද්‍ය ක්‍රියාවක්" හා "සාවද්‍ය චිත්තයක්" ගැබ් ව පවතී.

සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයේ "සාවද්‍ය ක්‍රියාව" Actus Reus වන්නේ මරණය සිදු කිරීමයි. "සාවදය චිත්තය" Mens Rea වන්නේ සාපරාධී චේතනාව හෝ සාවද්‍ය දැනීමයි. දණ්ඩ නීති සංග්‍රහයේ 293 වගන්තිය අනුව සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය ක් සිදු වීමට බලපාන සාවද්‍ය ක්‍රියාව හා චිත්තය සලකා බැලීමේ දී,

  1. මරණය සිදුකිරීමේ අදහසින් (With the Intention causing death)
  2. මරණය සිදුවිය හැකි අන්දමේ ශාරීරික පාඩුවක් සිදු කිරීමේ අදහසින් (With the intention of causing such bodily injury as is like to cause death)
  3. තමා කරන යම් ක්‍රියාවකින් මරණය සිදු විය හැකි බව දනිමින්ම (With the knowledge that he is likely by such act to cause to death)
  4. යම් ක්‍රියාවක් සිදු කිරීමෙන් මරණය සිදු කිරීම (Whoever cause death by doing an act)

මෙහිදී පළමු පාදයන් ත්‍රිත්වය සාවද්‍ය චිත්තය විග්‍රහ කරනු ලබන අතර අවසන් පාදය සාවද්‍ය ක්‍රියාව විග්‍රහ කරනු ලබයි.

293 වගන්තියේ පැහැදිලි කිරීම්,

  1. ආබාධයකින් , රෝගයකින් හෝ කායික දුර්වලතාවයකින් පෙළෙන තැනැත්තකුට ශාරීරික පාඩුවක් කිරීමෙන් එම තැනැත්තාගේ මරණය ඉක්මන් කරනු ලැබූවෙකු ඔහුගේ මරණය සිදු කළා යැයි සැලකේ.
  2. ශාරීරික පාඩුවකින් මරණය සිදු කළ අවස්ථාවකිදී නිසි ඖෂධ හෝ දක්ෂ වෛද්‍ය ප්‍රතිකාර කිරීමෙන් මරණය වැලැක්වීමේ හැකියාව තිබුණ ද එකී ශාරීරික පාඩුව සිදු කළ තැනැත්තා මරණය සිදු කළා යැයි සැලකේ. (එනම් හේතුඵල සබඳතාවය බිඳවැටීමට වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම යන සාධකය ශ්‍රී ලංකාව තුළ භාවිත නොවේ)
  3. මවගේ ගර්භයේ දී කළලයක් විනාශ කිරීම මනුෂ්‍ය ඝාතනයක් නොවේ (303 වගන්තිය අනුව ‘ගබ්සාව‘ නම් වරදට ව්‍යතිරේක අදාල වේ) එහෙත් දරුවා හුස්ම නොගෙන ඇතත් දරුවා සම්පූර්ණයෙන්ම නොඉපදුනත් එම දරුවාගේ යම් කොටසක් පිටතට ගෙන ඇති විටක පණ ඇති දරුවකුගේ මරණය සිදු කිරීම සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකි.

 

සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය පිළිබඳ වූ නඩු තීන්දු.

රජය එ, සලමන් (38 NLR 113) - මෙම නඩුවේදී චූදිතයා වින්දිතයාට පහරක් එල්ල කරයි.එය ස්වභාවික කටයුතු අතරදී මරණයට ප්‍රමාණවත් වූ පහරක් නොවුනද ඉන් වින්දිතයාගේ ශාරීරික ආබාධයක් උත්සන්න වීමෙන් මරණය සිදු වේ. චූදිතයා හට සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට වගකීම පැවරුණි.

රජ එ, කොළඳා (1901 5 NLR 236)- මෙම නඩුවේදී චූදිතයා වින්දිතයාගේ යටිබඩ ප්‍රදේශයට පහරක් එල්ල කරයි.එම පහර නිරෝගී පුද්ගලයකුගේ මරණයට ප්‍රමාණවත් නොවූවද ඒ වන විටත් ඇලදිව(ප්ලීහාව හා අක්මාව) විශාල වීමේ රෝගයකින් පෙළුනු වින්දිතයාගේ ඇලදිව පිපිරීමට තරම් ඒ පහර ප්‍රමාණවත් වී ඇති බව අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන් විය. ඒ අනුව චූදිතයා සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට වරදකරු විය.

තබෝමාලි ඒ, රැජිණ (1958 WLR 228) - මෙම විදේශීය නඩුවේදී චූදිතයා වින්දිත තැනැත්තා හට පහර කිහිපයක් ගසා ඔහු මියගියා යැයි සලකා දේහය සැඟවීමට එය ප්‍රපාතයකනි පහළට හෙළනු ලැබීය.එහෙත් ඒ වන විටත් මිය නොගොස් සිහිසුන්ව සිටි වින්දිතයාග් මරණයට හේතු වී ඇත්තේ සිරුර ප්‍රපාතයෙන් පහලට හෙලීමේදී හිස ගල් වල වැදීම නිසා වූ බරපතල තුවාල හේතුවෙන් ඇති වූ අධික රුධිර වහනය හේතුකොට සිදු වූ කම්පනයෙන් බව අධිකරණ වෛද්‍ය වාර්තාවේ දැක්විණ. මෙහිදී අධිකරණය පැවසුවේ මෙම සිද්ධියේ එක් අදියරකදී පමණක් චූදිතයා සතුව සාවද්‍ය චේතනාව පැවතුණ ද මරණය සිදු වී ඇත්තේ චේතනාන්නවිතව සිදු කළ පහරදීමෙන් නොවන බැවින් චූදිතයා මිනීමැරුමට නොව සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට වගකිව යුතු යැයි ප්‍රකාශ කරන ලදී.

 

මිනී මැරීම (Murder)

සෑම සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් මිනීමැරුමක් නොවූණද සෑම මිනී මැරුමක්ම සාවද්‍ය මනුෂ්‍යඝාතනයක් වේ. (Every Culpable Homicide is not a Murder, but every Murder is a Culpable Homicide) ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 294 වගන්තියේ මිනීමැරීම යන අපරාධය පිලිබඳ සඳහන් වේ.

"මින් මතු බරහැර කරන අවස්ථාවන්හිදී හැර පහත දැක්වෙන පරිදි වුවහොත් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය මිනීමැරුමක් වේ.එනම්,
  • පළමුවනුව - මරණය සිදු කළ ක්‍රියාව මරණය සිදු කිරීමේ අදහසින් සිදු කරනු ලැබූවක් වීම.
  • දෙවනුව-පීඩාවට ලක්වූ තැනැත්තාගේ මරණය සිදු විය හැකි අන්දමේ ශාරීරික පාඩුවක් බව වරදකරු දන්නා වූ ශාරීරික පාඩුවක් සිදු කිරීමේ අදහසින් එවැනි පාඩුවක් සිදු කිරීම.
  • තුන්වනුව- ශාරීරික පාඩුවක් යම් තැනැත්තෙකුට කිරීමේ අදහසින් එම ශාරීරික පාඩුව ස්වභාවික කටයුතු අතරදී මරණය සිදු වීමට ප්‍රමාණවත් වීම.
  • සිව්වනුව- අන්තරාය කොපමණ ආසන්න ද කිවහොත් සෑම අතින්ම මරණය සිදු විය හැකි බව හෝ මරණය සිදු විය හැකි අන්දමේ ශාරීරික පාඩුවක් සිදු විය හැකි බව ක්‍රියාව කරන්නා දැනගෙන සිටිමින් ම...."

මිනී මැරීම හා සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය අතර විශාල වෙනස්කමක් නොමැත.මිනීමැරීමේ සාවද්‍ය චිත්තය වන්නේ ද සාපරාධී චේතනාව හා සාවද්‍ය දැනීමයි. සාවද්‍ය ක්‍රියාව වන්නේ මනුෂ්‍ය ඝාතනයයි.

චූදිතයා සතුව මිනීමැරීම සඳහා වූ චේතනාව අධිකරණය ඉදිරියේ ශක්තිමත්ව ඔප්පු කිරීමට පැමිණිලිකාර පාර්ශවය විසින් පහත කරුනු උපයෝගී කරගත හැක,
  1. තුවාලයේ ස්වභාවය
  2. ශරීරයේ තුවලය සිදු වී ඇති ස්ථානය
  3. තුවාලය සිදු කිරීමට චූදිතයා භාවිතා කළ ආයුධය

ගුණදාස එ, නීතිපති (1999 1 Sri.LR 253) - මෙම නඩුවේදී පළමු චූදිතයා විසින් යම් ආයුධයකින් මරණකරුගේ හිසට පහර දී තුවාල කර තිබූ අතර දෙවන චූදිතයා විසින් කඩුවකින් මරණකරුගේ පාදයට කැපුම් තුවාල 2ක් සිදු කර තිබුනි.අධිකරණය පැවසුවේ පළමු චුදිතයා අනිවාර්ය‍යෙන්ම මිනීමැරුමට වරදකරු විය යුතු බවයි.මෙහිදී අධිකරණය කරුණු 2ක් පිලිබඳ අවධානය යොමු කර‍න ලදී.එනම්,
  • තුවාලයේ ස්වභාවය
  • තුවාලය සිදු වී ඇති ස්ථානය

විතාන එ, රජය (2007 1 Sri.LR 169) - මෙම නඩුවේදී සිසිර ඩී. ආබෘ විනිසුරු තුමා පැවසූවේ මිනී මැරුමක් සිදු වීමට නම් පහත කරුණු ඉටුවිය යුතු බවයි. එනම්,
  • වින්දිතයා වෙත යම් ශාරිරික පාඩුවක් චූදිතයා විසින් සිදු කිරීම
  • වින්දිතයාගේ මරණය ඉහත ශාරීරික පාඩුවේ ප්‍රතිඵලයක් ලෙස සිදු වීම
  • චූදිතයාට අදාල ශාරීරික පාඩුව සිදු කිරීමේ අදහසක් පැවතීම
  • ස්වභාවික තත්ත්වයක් තුළදී මරණය සිදු වීමට තරම් එම ශාරිරික පාඩුව ප්‍රමාණවත් වීම

මෙන්ඩිස් එ, රැජිණ (1952 54 න.නි.වා 177 )- මෙම නඩුවේදී චූදිතයා විසින් පුද්ගලයකුට පොල්ලකින් පහර දී තුවාල කර තිබුණි.මෙහිදී ඔප්පු වුයේ එම පොලු පහර අදාල වින්දිතයාගේ මරණයට හේතු වූ බවයි.ඒ අනුව මනුෂ්‍ය ඝාතනයේ අදහසින් චූදිතයා විසින් පොලු පහර එල්ල කර ඇතැයි අධිකරණයේදී තීරණය විය. චූදිතයා මිනී මැරීමට වරදකරු විය.

වින්දිතයාගේ මරණය සිදු විය හැකි යැයි චූදිතයා දන්නා වූ ශාරීරික පාඩුවක් සිදුකළේ යැයි (294 - 2වන පාදය) අධිකරණයේදී ඔප්පු වුවහොත් මිනීමැරුමට වගකීම පැවරිය හැක.

රජු ඒ, සාන්න සූසායි (1891) - චූදිතයා විසින් වින්දිතයාගේ අතකට පෑන් පිහියකින් කැපුමක් සිදු කරන ලදී.මෙම තුවාලය දැඩි ශාරීරික පාඩුවකට හේතු වූයෙන් වින්දිතයාගේ මරණය සිදු විය.අධිකරණයේදී සනාථ වූයේ චූදිතයා විසින් වින්දිතයා සතුව පැවැති රුධිරය කැටි නොගැසීමේ රෝගී තත්ත්වය පිළිබඳ දැන සිටි බවයි.ඒ අනුව චූදිතයා හට මිනී මැරීමට වරදකරු විය.

තවද චූදිතයන් විසින් සාපරාධී ක්‍රියාව සිද්ධ කිරීමට ප්‍රථමව සිදු කරන ලද ප්‍රකාශයන් ද මිනීමැරුම් ඔප්පු කිරීමට උපකාරී වන වැදගත් සාක්ෂි වේ.

බෙල්ලන විතානගේ ඇඩ්ඩින් (1940 – 41 න.නි.වා 345) - චුදිතයා වින්දිතයාගේ හිසට පොලු පහර 4ක් එල්ල කර තිබුණු අතර ඉන් තුනක් මරණය සිදු වියහැකි අනිදමේ බරපතල ගණයේ ඒවා බව අධිකරණ මරණ පරීක්ෂණයේදී තහවුරු විය.ඇසින් දුටු සාක්ෂි මඟින් තහවුරු වූයේ "දැං බලං හිටපං මං උඹ පාන්දර වෙන්න කලින් මරණවා" යැයි චූදිතයා ප්‍රකාශ කර තිබූ බවයි.චූදිතයාගේ මේ ප්‍රකාශය අධිකරණය ඉදිරියේ ඔහු සතුව පැවති සාවද්‍ය චේතනාව තහවුරු කරන ලදී.

රෙංගසාමි (1924 – 25 න.නි.වා 434) - මෙම නඩුවේදී ද චූදිතයාගේ ප්‍රකාශයක් මිනීමැරීමේ වරදට වගකීම පැවරීමට උපකාරී විය.“එකෙක් මැරුවා අනිකත් එලිවෙන්න කලින් මරණවා“ යැයි චූදිතයා පවසා තිබුණි.

 

සියදිවි නසා ගැනීම

දණ්ඩ නීත සංග්‍රහයේ 302 වගන්තිය අනුව සියදිවි නසා ගැනීමට තැත් කිරීම වරදක් ලෙස සැලකුණි එහෙත් පසුකාලීනව එම වගන්තිය සංග්‍රහයෙන් (පනතින්) පරිච්ඡින්න කරනු ලැබුණි. වර්තමානයේ එවැනි වගන්තියක් සංග්‍රහයේ නොමැත. (එහෙත් 300 වගන්තිය අනුව සියපණ හානි කර ගැනීමට අනුබල දීම දඬුවම් ලැබියහැකි වරදකි.)

 

ගබ්සාව

දණ්ඩ නීත සංග්‍රහයේ 303 වගන්තියට අනුව මවගේ ජීවිතය බේරාගැනීමට සද්භාවයෙන් කරනු ලබන යන ව්‍යතිරේකයට යටත්ව නූපන් කළලයක් ගබ්සා කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.

 

සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට දඬුවම

ශ්‍රි ලංකා අපරාධ නීතියේ හරයාත්මක නීතිය (Substantive law) තුළ ප්‍රධාන මූලය වන දණ්ඩ නීති සංග්‍රහයට අනුව (297 වගන්තිය) මිනී මැරුමක් නොවන සාවදය මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවකු වූ තැනැත්තකුට ‍අවුරුදු 20දක්වා වූ දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකින් දඬුවම් කළ යුතුය. ශ්‍රි ලංකා අපරාධ නීතියේ කාර්යපටිපාටික නීතියේ (Procedural law) ප්‍රධාන මූලය වන අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව සාවදය මනුෂ්‍ය ඝාතනය යනු ඇප ලබාදිය නොහැකි මෙන්ම සැකකරු වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගත හැකි වරදකි.

 

මිනීමැරීමට දඬුවම

දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය අනුව මනීමැරීමට වරදකරු වූවකුට මරණීය දඬුවමෙන් දඬුවම් කළ යුතුය.අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව ඇප ලබාදිය නොහැකි එමෙන්ම වරෙන්තු රහිතව වූවද සැකකරු අත්අඩංගුවට ගතහැකි වරදකි.වයස අවු. 16 අඩු තැනැත්තන් සඳහා ජනාධිපතිවරයා දක්වන කාලයක් ද ගර්භණි කාන්තාවන් සඳහා ජීවිතාන්තය දක්වාද බන්ධනාගාරගත කිරීම මඟින් දඬුවම් නියම කරනු ලබයි.


සැකසුම: කුසල් කාවින්ද අමරසිංහ
Share on Google Plus

Copyright Information

No part of this article (excluding images) may be reproduced, stored in or introduced into a retrieval system, or transmitted, in any form or by any means (electronic, mechanical, recording or otherwise), without the prior permission. Images on this article belong to their respective owners.
    Blogger Comment
    Facebook Comment

0 Comments :

Post a Comment