ෆ්ලිප් ෆ්ලොප් පරිපථය හා 4017 සංගෘහිත පරිපථය

ඉතිං යාළුවනේ හැමෝටම ඔන්න ආයුබෝවන්. මේක තමයි මගෙ මුල්ම බ්ලොග් පෝස්ට් එක. මම අද ඔයාලට මුලින්ම ඉදිරිපත් කරන්න හදන්නෙ හරිම පොඩි පරිපථයක්. මේකට එක එක අය එක එක නම් කියනව. Flip-Flop Circuit, Robo Circuit, Multi Vibrator Circuit වගේ නම් ගොඩක් කියනව. මේක කොච්චර පොඩි උනත් මම නම් හිතන්නෙ මේකෙන් හැමෝටම ගොඩක් දේවල් ඉගෙනගන්න තියනව.

අපි දැන් බලමු මේ පරිපථය හදාගන්නෙ කොහොමද කියල.මුලින්ම මම කියන්නම් ඕනෙ දේවල් ට්ක.
  • ප්‍රතිරෝධක
  1. 330Ω - 2යි
  2. 10K - 2යි
  • ධාරිත්‍රක
  1. 47µF -2යි හෝ 100µF -2යි
  • ට්‍රාන්සිස්ටර
  1. BC547 - 2යි
  • LED - 2යි

දැන් මම පහළ දාල තියන Diagram එකට අනුව මේ පරිපථය හදාගන්න. වෙරෝ බෝඩ් එකක් හරි ප්‍රොජෙක්ට් බෝඩ් එකක් යොදාගෙන මේක හදන්න පුළුවන්.

විශේෂයෙන්ම කියන්න ඕනෙ මේ පරිපථයට යොදාගන්න ධාරිත්‍රක දෙක 47µF -2ක් වුනත් 100µF -2ක් වුනත් පරිපථය නම් වැඩ කරනව.

දැන් අපි බලමු මේ පරිපථයෙ ඇත්තටම මොකද වෙන්නෙ කියල.

ඇත්තටම මේ පරිපථයේ මොකද්ද වෙන්නෙ කියල බලන්න නම් අපිට මේ තියන සමමිතික පැති දෙකෙන් එක පැත්තකින් පටන් ගන්න වෙනව. අපි වම් පැත්තෙන් පටන්ගමු. ඇත්තටම අපි පරිපථයට මුලින්ම විදුලිය සපයපු ගමන් එක පැත්තක ධාරිත්‍රකයක් ආරෝපණය වෙන්න පටන් ගන්නව. හැබැයි ධාරිත්‍රකය සම්පූර්ණයෙන් ආරෝපණය වෙනකම් ඒ පැත්තෙ ට්‍රාන්සිස්ටරය හරහා සැලකිය යුතු ධාරාවක් යන්නෙ නෑ . ඒකට හේතුව තමයි LED එක හරහා යන ධාරාවෙන් වැඩි කොටසක් ධාරිත්‍රකය තුළ ගබඩා වෙන එක. සාමාන්‍යයෙන් ට්‍රාන්සිස්ටරයක් හරහා (ඉහත රූපයේ c,e ලෙස සඳහන් කරල තියන පාද අතර) ධාරාවක් ගලන්න නම් පාදමට (ඉහත රූපයේ b) ඉතාමත් කුඩා ධාරාවක් ලබාදෙන්න ඕනැ.

මම ඉස්සරලා කිව්ව වගේ මුලින්ම සම්පූර්ණයෙන් ආරෝපණය වුණු ධාරිත්‍රකය ලැබුණු ආරෝපණ නිදහස් කරන්න ගන්නව. ඒ කියන්නෙ discharge වෙන්න ගන්නව. ඒ කියන්නෙ අනික් පැත්තෙ තියන ට්‍රාන්සිස්ටරයේ පාදමට ඉතාමත් කුඩා ධාරාවක් ලැබෙනව කියන එක. ඉතින් ඒ ට්‍රාන්සිස්ටරයේ c,e පාද හරහා සැලකිය යුතු ධාරාවක් ගලනව. එතකොට ඒ පැත්තෙ LED එක දැල්වෙනව. LED එක දැල්වෙනකම් ඒ පැත්තෙ ධාරිත්‍රකය ආරෝපණය වෙනව. ආරෝපණ මුදාහැරපු ධාරිත්‍රකයේ ආරෝපණ ඉවර වෙනකොට ආරෝපණය වුණු අනික් ධාරිත්‍රකය තමුන්ගෙ ආරෝපණ මුදාහරින්න ගන්නව. ඒ කියන්නෙ කලින් දැල්වුණු LED එක නිවිල අනික් පැත්තෙ LED එක දැල්වෙනව කියන එක. මම දැන් කියපු දේ වෙන්න යන කාලය ඇසිපිය ගහන්න යන කාලයටත් වඩා ඉතා අඩුයි. මෙන්න මෙහෙම තමයි multi vibrator circuit එක වැඩ කරන්නෙ . මම මට පුළුවන් තරම් සරල විදිහට තමයි මේක ඉදිරිපත් කළේ. ඉතින් ඔයාලට මේ ගැන තියන ඕනෑම ප්‍රශ්ණයක් comment එකක් විදිහට දාන්න.

අද මම ඉතාමත් බහුලව භාවිතා වන සංගෘහිත පරිපථයක් වන 4017 සංගෘහිත පරිපථය පිලිබඳව කතා කරන්නත් බලාපොරොත්තු වෙනව. මේ පරිපථයේ ඇති විශේෂත්වය තමයි clock input  0 වෙත continuous pulse එකක් එහෙම නැත්නම් අඛණ්ඩ විද්‍යුත් ස්ඵන්දයක් ලබා දුන්නම යම් නියත කාල ප්‍රාන්තර වලදී වරකට එක බැගින් එම සංගෘහිත පරිපථයේ අග්‍ර 10ක් on කරන එක. සරලව කිව්වොත් pin එකින් එක on කරගෙන යනව. මේ වගේ සංගෘහිත පරිපථයකින් කරන්න පුළුවන් දේවල් බොහොමයි.

මම හිතුව මේ සංගෘහිත පරිපථය යොදාගෙන අපි අතර බොහොම ජනප්‍රිය knight-rider circuit එකක් හදන්න. මුලින්ම අපිට සිදුවෙනව pulse එකක් දෙන්න පුළුවන් පරිපථයක් හදාගන්න. මේ කාර්යය 555 වගේ සංගෘහිත පරිපථයකින් පහසුවෙන් කරගන්න පුළුවන්. නමුත් මම හිතුව ඒ සඳහා අපි කලින් යොදාගත්ත Multi Vibrator පරිපථයේ මූලධර්මයට සමාන මූලධර්මයකින් ක්‍රියා කරන පරිපථයක් යොදාගන්න.


ඉහත පරිපථය  කලින් ඉදිරිපත් කරපු Flip-Flop පරිපථයට ඉතාමත් සමානයි. මෙහිදී විචල්‍ය ප්‍රතිරෝධකය මගින් Clock Input වෙත ලබා දෙන ස්පන්ද දෙකක් අතර කාල පමාව වෙනස් කරන්න පුළුවන්. Flip-Flop පරිපථයට ඉතාමත් සමාන මූලධර්මයක් භාවිතා කරන බැවින් මම පරිපථයේ මූලධර්මය ගැන වැඩිදුර විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒ පිළිබඳව ඔබගේ ප්‍රශ්න කොමෙන්ටු ආකාරයෙන් ඉදිරිපත් කරන්න.

දැන් අපි 4017 සංගෘහිත පරිපථය වෙත අවධානය යොමු කරමු.


මෙහි CP0    ලෙස සඳහන්ව ඇති අග්‍රය වෙත අඛණ්ඩ ස්පන්දයක් ලබා දෙන විට පෙර සඳහන් කළ පරිදි මෙම IC මගින්  Decoded outputs ලෙස සඳහන් කර ඇති අග්‍ර 0 සිට 9 දක්වා ක්‍රම ක්‍රමයෙන් වරකට එක බැගින් ON කරයි.
එම නිසා Decoded outputs වලට LED සම්බන්ධ කිරීම මගින් අපට Knight-rider පරිපථයක් පහසුවෙන් සකස් කරගන්න පුළුවන්.


සැකසුම: සුදාරක ජයතිලක විසිනි.

Share on Google Plus

Copyright Information

No part of this article (excluding images) may be reproduced, stored in or introduced into a retrieval system, or transmitted, in any form or by any means (electronic, mechanical, recording or otherwise), without the prior permission. Images on this article belong to their respective owners.
    Blogger Comment
    Facebook Comment

1 Comments :