සීතාවක රාජධානිය පිළිබඳ තොරතුරු දුලබ ය. තිබෙන තොරතුරු වූවද නිර්වද්‍යතාවයෙන් තොරය. ලක් ඉතිහාසයේ "සීතාවක" නමින් රාජධානියක් පැවතියේද යන ගැටළුව පැන නඟින තරමටම 'සීතාවක' ඉතිහාසයෙන් සැඟවී ඇත. අඳුරු යුගයක් ලෙස පවසනු හැරුණු විට ඉතිහාසඥයෝද සීතාවක පිළිබඳ තොරතුරු සෙවීමට මැලි වෙති.මේ ගවේෂණාත්මක ලිපිය සැකසෙන්නේ ඉතිහාසයෙන් කටුගෑමට සැරසුණු අභීත රාජධානියක වසන් වූ තොරතුරු හෙළි කිරීමට ය.
සීතාවක ඉතිහාසය
අනුරාධපුර යුගයේ සිට කන්ද උඩරට මහනුවර යුගය දක්වා පිළිවෙලින් රාජධානි කාලවකවානු සලකා බැලීමේදී කොට්ටේ රාජධානියේ අවසාන සමයේ සිට මහනුවර යුගයේ ආරම්භය තෙක් මෙරට පාලන කේන්ද්‍රස්ථානය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ඉතිහාසයේ ඇඳී නොමැත. එසේ නම් මේ අන්තර්කාලවකවානුව තුළ මෙරට පාලනය වූ රාජධානියක් නොතිබුණි ද? නැතිනම් මේ හුදෙක් අඳුරු යුගයක් ද?
මෙය ඉතිහාසයේ විසඳිය යුතුව ඇති ගැටළුවකි.
ඊට සෘජුවම පිළිතුරු ලබා දෙන්නේ නම්, මේ අපහැදිලි කාලයේ මෙරට අගනගරය වූයේ "සීතාවක" යන්නයි.
සීතාවක රාජධානිය පිළිබඳ සාකච්ඡා කිරීමේදී සීතාවක ඉතිහාසය මඳක් විමසිය යුතුය. සීතාවක ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගය වන තෙක් දිව යයි. සීතාවක ප්‍රදේශයට අයත් මානියංගම හා සීතාලෙන ආදී ගල් ලෙන් තුළ බලංගොඩ මානවයා විසින් පරිභෝජනය කළා යැයි සැලකෙන සත්ව අවශේෂ (බෙලි කටු ආදිය) හමු වී ඇත. ඉන් අනතුරුව සීතාවක නාම ප්‍රභවය පිළිබඳ විමසීමේ දී එම කතා ප්‍රවෘත්තිය රාවණ රාජ්‍ය සමය තෙක් අතීතයට ගමන් කරයි. රාවණ රජු විසින් සීතා දේවිය රැගෙන විත් සීතාවක පිහිටි "සීතා ලෙනේ" සඟවාතැබුවා යැයි ජනප්‍රවාදයේ සඳහන් වේ. එමෙන්ම සීතා දේවිය ස්නානය කළ ගඟෙහි වක් වු ස්ථානය "සීතා වක" පසුව සීතාවක වු බව ජනශ්‍රැතියේ දැක්වේ.
ලිඛිත හා පුරාවිද්‍යාත්මක ඉතිහාසය සලකා බැලීමේදී සීතාවක ප්‍රදේශයේ අනුරාධපුර යුගයේ පටන් ජනාවාස පැවත ඇති බවට සාක්ෂි ඇත. මානියංගම, රජගල ආදී ගල් ලෙන් අනුරාධපුර යුගයේදී භික්ෂූන් වහන්සේලා හට පුජා කළ බව එම ලෙන් හි ඇති කටාරම් ලිපි සාක්ෂි දරයි. එමෙන්ම අනුරාධපුර යුගයේ ශ්‍රේෂ්ඨ නරපතියෙකු වු 'වට්ටගාමිණී අභය' හෙවත් "වලගම්බා" රජු සත්ද්‍රවිඩ ආක්‍රමණයට මුහුණදීමට මලය දේශයේ සැඟව සිටි අවධියේ සීතාවක ප්‍රදේශයේ මානියංගම ගල්ලෙන තුළ ද සැඟව සිට ඇත. ද්‍රවිඩයන් නසා එතුමා නැවත රාජ්‍යත්වයට පත් වූ පසු මානියංගම ඇතුළු ගල්ලෙන් රාජමහා විහාර ලෙස සංවර්ධනය කරන ලදී. සීතාවක ඉතිහාසය පොළොන්නරුවට ද නෑකම් කියයි. මහා පරාක්‍රමභාහු රජුගේ උපන්ගම වූ දැදිගම පිහිටා ඇත්තේ ද සීතාවකට නුදුරිනි. එමෙන්ම පරක්‍රමභාහු කුමරු පොළොන්නරුවේ රාජ්‍යත්වයට පත්වීමට ප්‍රථම රුහුණේ සිටි තම නැන්දනිය වූ සුගලා දේවිය අත තිබූ පාත්‍රා ධාතුව හා දන්ත ධාතුව රැගෙන ඒමට යැවූ සේනා සීතාවක ප්‍රදේශය හරහා රුහුණට ගමන් කළ බව ඉතිහාසයේ දැක්වේ.
මේ අනුව සලකා බැලීමේදී මෙරට අග්‍රරාජධානිය වීමට ප්‍රථම සීතාවක, ඉතිහාසයේ නොයෙක් තැන්හි විවිධ වූ සිද්ධීන්ට කේන්ද්‍රස්ථානයක් වී ඇත.
සීතාවක රාජධානියේ ආරම්භය
'සීතාවක' නමින් රාජධානියක් මෙරට බිහි වන්නේ 16 වැනි සියවසේ දී කෝට්ටේ රාජධානියේ සිදු වූ බෙදීමක ප්‍රතිඵලයක් මතය. ක්‍රි.ව 1521 දී කෝට්ටේ රාජධානි ඉතිහාසයේ සිදුවූ දැවැන්තම දේශපාලනික කුමන්ත්‍රණය වූ "විජයභා කොල්ලයෙන්" අනතුරුව සීතාවක රාජ්‍යය බිහි විය.
'විජයභා කොල්ලය' සැකවින් මෙසේ ය. 16 වැනි සියවසේ දී මෙරට අග්‍රරාජධානිය කොට්ටේ වූ අතර ප්‍රාදේශිය රාජ්‍යයන් ලෙස කන්ද උඩරට හා යාපනය පැවතුණි. සය වැනි විජයභාහු රජු කෝට්ටේ අගරජු වූ අතර ඔහුට බුවනෙකභාහු, මද්දුම බණ්ඩාර (රයිගම් බණ්ඩාර) හා මායාදුන්නේ නමින් පුතුන් තිදෙනෙක් විය. රාජධර්ම අනුව මොවුන් තිදෙනාගේ වැඩිමහළු පිළිවෙලට මීළඟ රාජ්‍යඅනුප්‍රාප්තිකයා නම් කළ යුතුව තිබුණ ද විජයභාහු රජුගේ දෙවැනි විවාහය වූ 'කිරිවැල්ලේ' දේවියට වූ පොරොන්දුවක් මත ඇගේ පුත් දේවරාජ හට රාජ්‍යය ලබා දීමට සූදානමක් පැතුණි. මේ පිළිබඳ දැනුවත් වූ සොහොයුරන් තිදෙනා පිය රජුට එරෙහිව රාජ මාලිගය තුළ කුමන්ත්‍රණයක් සිදු කරන ලදී. මෙම ඓතිහාසික සිද්ධිය 'විජයබා කොල්ලය' ලෙස ඉතිහාසයේ සඳහන් වේ.
මෙම ක්‍රමන්ත්‍රණයේ දී සවැනි විජයභාහු රජු මිය යයි. රජු මිය ගිය ආකාරය පිළිබඳව මත රාශියක් පවතී. කුමන්ත්‍රණයේ නායකත්වය ගත් මායාදුන්නේ කුමරු විසින්ම සිය පිය රජු ඝාතනය කළ බව 'ක්වේරොස්' වැනි පෘතුගීසි ලේඛකයෝ දක්වති. තවත් තැනෙක කුලී මිනීමරුවකු වූ 'සලමන්' (සොලමන්) නම් විදේශීකයා ලවා රජු නැසූ බවට ද සඳහන් වේ. කෙසේ වෙතත් පිය රජුගේ ඇවෑමෙන් සොයුරන් තිදෙනා කොට්ටේ රාජ්‍යය කොටස් තුනකට බෙදා ගනී. කොට්ටේ අගනගරය මුල් කරගත් විශාල ප්‍රදේශය වැඩිමහළු සොයුරු බුවනෙකභාහු හට හිමි විය. ඒ අනුව ඔහු ලක් දිව අගරජු ලෙස සත්වන බුවනෙකභාහු නමින් අභිෂේක ලැබී ය. ප්‍රාදේශීය කොටස් ලෙස රයිගම ප්‍රදේශය රයිගම් බණ්ඩාරට ද සීතාවක ප්‍රදේශය මායාදුන්නේ හට ද හිමි විය. රාජ්‍යත්වයේ උරුමය වූ දන්තධාතුන් වහන්සේ මේ වන විට කෝට්ටේ රජු සතුව පැවතුණි.
මේ අනුව සීතාවක රාජ්‍යය ප්‍රාදේශිය රාජ්‍යයක් ලෙස බිහි වූ අතර එහි ප්‍රථම පාලකයා වූයේ මායාදුන්නේ රජු ය.
සීතාවක මෙරට අග්‍රරාජධානිය වීම හා මායාදුන්නේ රාජ්‍ය සමය
මේ වන විට මෙරටට පැමිණ සිට පෘතුගීසින් කොට්ටේ පාලකයන් සමඟ දැඩි මිත්‍රත්වයකින් පසු විය. අවසානයේ ඔවුන් මෙරට දේශපාලන ක්ෂේත්‍රයට අතපෙවීමට තරම් ප්‍රභල විය. කොට්ටේ බුවනෙකබාහු රජුගේ පරංගි ගැති ස්වභාවය පිළිබඳ සීතාවක පාලක මායාදුන්නේ රජු පසුවූයේ තරමක නොපැහැදීමකිනි. මේ අතරතුර 1538 දී රයිගම් බණ්ඩාර රජුගේ මිය යාමත් සමඟ රයිගම් ප්‍රදේශය ද සීතාවකට ඈඳා ගැනීමට මායාදුන්නේ රජු සමත්විය. තුන්කෝරළය, හේවාගම් කොරළය හා කුරුවිට කෝරළයෙන් සමන්විතව තිබූ සීතාවක රාජ්‍යයට ඒ අනුව රයිගම හා පස්දුන් කෝරළය ද අයත් විය. ක්‍රමයෙන් සීතාවක රාජ්‍යය විශාලවීම පිළිබඳව කොට්ටේ පාලක බුවනෙකභාහු රජු පසු වූයේ තරමක නොසන්සුන් බවකිනි. මේ නිසා ඔහු තව තවත් පෘතුගීසින්ට සමීප විය. මේ වන විට පරංගින් විසින් කෝට්ටේ රාජ්‍යයයේ කතෝලික දහම ව්‍යාප්ත කරන්නට කටයුතු කරන ලදී. මේ නිසා සිංහල බෞද්ධ ජනයා වඩාත් පීඩනයට පත් විය. එමෙන්ම සුළුතර මුස්ලිම්වරු ද පෘතුගීසින්ගේ අඩන්තේට්ටම වලට ලක් විය. මේ හේතුවෙන් සිංහල බෞද්ධ ජනතාව හා භික්ෂූන් වහන්සේලාත් සුළුතර මුස්ලිමවරුත් ක්‍රමක්‍රමයෙන් ආරක්ෂාව පතා සීතාවකට සංක්‍රමණය වන්නට විය. පොදුජනතාව හට පරංගින්ගෙන් සිදුවන අසාධාරණකම් පිළිබඳ සිය දෙටුසොහොයුරු බුවනෙකභාහු රජු දැනුවත් කිරීමට මායාදුනනේ රජු කටයුතු කළ ද කෝට්ටේ රජු ඊට පිළියම් යෙදීමට මැලි වූයේ ස්වකීය ආරක්ෂාව පෘතුගීසින්ගෙන් ලැබෙන නිසා ය. මේ පිළිබඳ උරණ වූ මායාදුන්නේ රජු කිහිප අවස්ථාවකදීම කොට්ටේ රාජ්‍යයට හමුදා ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කළ ද කොට්ටේ සිංහල සේනාව හා පෘතුගීසි සේනාවේ ඒකාබද්ධ ප්‍රහාර සීතාවක හමුදාවට වඩා ප්‍රභල වූයෙන් එම උත්සහයන් ව්‍යවර්ථ විය. වරෙක ඉන්දියාවේ කැලිකට් හි පාලක සැමොරින්ගේ ආධාර ද ඇතිව කොට්ටේ රාජ්‍යයට පහර දුන්න ද එම යුධ මෙහෙයුම ද අසාර්ථක විය.
කෙසේ වෙතත් කෝට්ටේ වාසය කළ භික්ෂුන් වහන්සේලා , ජනප්‍රධානීන් හා සාමාන්‍ය ජනයා සීතාවක රාජ්‍යය වෙත පැමිණීමත් සමඟ බහුතර ජනතාවගේ පක්ෂපාතීත්වය සීතාවකට හිමි විය. මේ අතරතුර පෘතුගීසීන් විසින් මෙරට රාජ්‍යත්වයේ උරුමය වූ දන්තධාතුන් වහන්සේ පැහැරගැනීමේ කුමන්ත්‍රණයක් හෙළිවීම නිසා හොර රහසින්ම දන්තධාතුන් වහන්සේ ආරක්ෂා සහගතව සීතාවකට වැඩමකරවන ලදී. මහත් හරසරින් දන්තධාතුන්වහන්සේ පිළිගත් මායාදුන්නේ රජු සීතාවකට නුදුරු "දෙල්ගමු විහාරයේ" කුරහන්ගලක ආකෘතියකට සැකසූ ශෛලමය කරඬුවක දන්තධාතූන් වහන්සේ තැන්පත් කරන ලදී. මේ අනුව මෙරට අගරජු ලෙස දන්තධාතුන් වහන්සේගේ භාරකරු වූ මායාදුන්නේ රජු පත් වූ අතර මෙරට අග්‍රරාජධානිය තවදුරටත් කෝට්ටේ නොව දළදා වහන්සේට රැකවරණය සපයන 'සීතාවක' බවට පත් විය. මේ අතරතුර කෝට්ටේ රාජ්‍යයට පක්ෂපාතී වූ මාතර දිසාව පාලනය කළ මනම්පේරි ආරච්චි පරාජය කළ සීතාවක මහසෙනවි වික්‍රමසිංහයන් දකුණුදිග වෙරළතීරය සීතාවක රාජ්‍යයට හිමිකර දෙන ලදී. එතැන් පටන් පෘතුගීසි ආක්‍රමණිකයන්ගෙන් ලක්දිව මුදාගැනීමේ වගකීම සීතාවක පාලක මායාදුන්නේ රජු හට පැවරිණි. මායාදුන්නේ රජු විසින් සීතාවක රාජධානිය ක්‍රි.ව 1521 සිට ක්‍රි.ව 1581 දක්වා මෙහෙයවන ලදී.
"සීතාවක රාජසිංහ" රජු යටතේ සීතාවක
සීතාවක රාජසිංහ රජු |
මායාදුන්නේ රජු හට මහරජ්ජුරු බණ්ඩාර කුමරු, තිඹිරිපොල රජ්ජුරු බණ්ඩාර කුමරු හා සන්තාන බණ්ඩාර යනුවෙන් පුත් කුමාරවරු තිදෙනෙක් සිටි අතර මහබිසෝ බණ්ඩාර නමින් දියණියක් ද සිටි බව සඳහන් වේ. (පසුකාලීනව වීදියබණ්ඩාර සෙන්පති විසින් සිය පළමු විවාහය වන බුවනෙකභාහු රජුගේ දියණිය වූ සමුද්‍රාදේවිය ගේ මරණයෙන් පසු විවාහ කරගත්තේ මේ කුමරියයි). මේ කෙසේ වෙතත් රජුගේ වැඩිමහළු පුත්‍රයා වූ මහරජ්ජුරු බණ්ඩාර විසි වැනි වියේ දී මිය ගොස් ඇත. ඒ අතර තවත් එක් පුත්‍රයකුගේ පාදයේ කොරයක් ද පැවත ඇති අතර රජු හට දාව අග බිසවගේ පුත්‍රයකු ද නොවූ බැවින් රාජ්‍ය අනුප්‍රාප්තිකයකු පිළිබඳ මායාදුන්නේ රජු බලවත් කණස්සල්ලකින් සිට ඇත. මේ නිසාම රජු හා අග බිසව විසින් රට රැකීමට අභීත පුතු රුවනක් ලබා දෙන මෙන් කතරගම දෙවියන්ට කළ කන්නලව්වකට අනුව ටිකිරි බණ්ඩාර කුමරුගේ උපත සිදු වු බව ජනප්‍රවාදයේ දැක්වේ. ටිකිරි බණ්ඩාර කුමරුගේ උපත පිළිබඳ විවිධ ජනප්‍රවාද රාශියකි. මේ ජනශ්‍රැති අනුව ටිකිරි කුමරු පෙර භවයේ දී යක්ෂ සේනාධිපතියෙකි. මෙතුමා උපතලද මොහොතේ කොළඹ පිහිටි පරංගි කොටුව දෙදරා ඉරිතැළුණු බව ද ජනප්‍රවාදයේ සඳහන් ය. මේ සියළුම කතා ප්‍රවෘත්ති මඟින් පැහැදිලි වන්නේ ටිකිරි බණ්ඩාර කුමරුගේ වීරත්වයයි.
ටිකිර බණ්ඩාර කුමරු පිළිබඳ විස්තර සාහිත්‍ය ග්‍රන්ථ වල ද දැක්වේ. මායාදුන්නේ රජුගේ දරුවන් පිළිබඳව රාජාවලියේ මෙසේ සඳහන් වේ.
"මායාදුන්නේ රජ්ජුරුවන්ගේ කුමාරවරු සතරදෙනාගෙන් රජ්ජුරුබණ්ඩාර විසි වියේ දී උකුත් වුවාහ.තිඹිරිපොළ අදහසින් හා වීදියේ රජ්ජුරුවන් ළඟ වුන් බිසෝ අදහසින් හා මේ තුන්දෙනාට බාල වු ශ්‍රී ලංකාව එක්සත් කළ රාජසිංහයාණෝ..."
මෙහි රාජසිංහ යනු ටිකිරි බණ්ඩාර කුමරුයි. ටිකිරි බණ්ඩාර කුමරු තරුණ වියේදී පටන් ම අති දක්ෂ සෙන්පතියකු විය. මේ නිසාම මායාදුන්නේ රජු වියපත් වූ විට රජුගේ නාමයෙන් සීතාවක පාලනය ගෙන යාමට ටිකිරි කුමරු සමත් විය. ටිකිරි කුමරුගේ අතිදක්ෂ රණශූරත්වය ඉස්මතු වන අවස්ථාවක් වන්නේ ක්‍රි.ව 1562 දී සිදුවූ 'මුල්ලේරියා මහ සටන' යි. පිය රජුගේ ආශිර්වාදය යටතේ කෝට්ටේ රාජ්‍යයට හා පෘතුගීසින්ට එරෙහිව ප්‍රහාරයක් සිදු කිරීමට සොළොස් වියැති ටිකිරි කුමරු ප්‍රමුඛ සීතාවක සිංහල සේනාවෝ කෝට්ටේ බලා පිටත් වුහ. මේ පිළිබඳ ආරංචි වුණු පෘතුගීසින් 'අල්පොන්සූ ද පෙරෙයිරා ද ලසර්දා' නම් පෘතුගීසි සෙනවියා ප්‍රමුඛ බලවත් පෘතුගීසි සේනාවක් සීතාවකට එවනු ලැබීය. මේ දෙසෙනඟ අතරමඟ මුල්ලේරියාව වෙල මැද දී එක්නෙකා හමුවූ අතර අනතුරුව වූ දරුණු සංග්‍රාමය රාජාවලියේ සඳහන් වන්නේ මෙසේ ය.
"රාජසිංහ රජු (රාජාවලි කතුවරයා මෙහි රාජසිංහ රජු ලෙස දක්වන්නේ ටිකිරි කුමරු ය) පෙරමුණ ඉස්සර පාරෙන් ගොස් මුල්ලේරියා වෙල මැද සිටිනා ප්‍රතිකාල් සේනාවට යුද්දයට පැන්නාහ. පස්ස පොරොත්තුවෙන් ගිය හමුදා ඇවිත් යුද්ධ කරන විට 'වීරහස්ථි' නම් ඇතා කොඩියක් ගති, 'ඓරාවණ' නම් ඇතා පලිහකුත් දම්වැලකුත් ගති ය.... රාජසිංහ රජු අසුට නැඟී සේනාව විහිදුවා වටකර දුවමින් යුධ ගිනි කෙළි කොටන විට දුරුතු මසැ මිහිඳුම් සේ වෙඩි දුම් පටලවාගෙන සිටින සඳ මුල්ලේරියාවේ වෙල මැද ලේ වතුරු කොට ප්‍රතිකාල් සේනාවට අඩියක් වත් පස්සට යන්ඩ නෑර කොටා ජය ගති. එක්දහස් පන්සීයක් ප්‍රතිකාලුන් හා කෝට්ටේ සේනාවේ කීපදෙනෙකුද වැටුනාහ.."
මුල්ලේරියා සටන |
මේ වන විට මායාදුන්නේ රජු මහළු වියෙහි විය. නැවතත් සීතාවක සේනාවෝ ටිකිරි කුමරු යටතේ ගොස් කොළඹ කොටුව වැටළූහ. ඒ 1579 දී ය. මෙම වැටලීමට ප්‍රථම සීතාවක සිංහල සේනාව කඳවුරු ලා ගත් ජය බිම මරදානේ 'පරණවාඩිය' නම් ප්‍රදේශයයි. (අද වන විට ආනන්ද විද්‍යාලය පිහිටා ඇත්තේ මේ භූමියේ ය) සන්නාහ සන්නද්ධව පැමිණි සිංහල සේනාවට මූහුණදීමට නොහැකි වුණු පෘතුගීසි සේනාව කොළඹ කොටුවට සීමා විය. මුහුදින් පැමිණි ආධාරක පෘතුගීසි සේනාවන්ට ද සීතාවන සේනාව පහර දී විනාශ කළහ. 1580 වන විට මායාදුන්නේ රජු වඩාත් දුර්වල වී සිටි බැවින් කොළඹ කොටුවට පෘතුගීසින් සීමා කොට ටිකිරි කුමරු නැවත සීතාවකට පැමිණියේය.
සීතාවක සිංහල සේනා කොළඹ කොටුවට පහර දීම |
ටිකිරි කුමරු පීතෘ ඝාතකයකු යැයි පෘතුගීසි වාර්තා වල හා අලකේෂ්වර යුද්ධය වැනි කෘති වල දැක්වේ. එනමුත් 'සීතාවක රාජසිංහ රාජ්ජ කාලය' හා රාජාවලිය යන කෘති වල දැක්වෙන පරිදි මායාදුන්නේ රජුගේ ස්වභාවික මරණය ඇවෑමෙන් පසු ටිකිරි කුමරු "සීතාවක රාජසිංහ" (1 වැනි රාජසිංහ) යනුවෙන් රාජ්‍යත්වයට පත්වේ.
මේ කාලය වන විට කොට්ටේ බුවනෙකභාහු රජුගේ මරණයෙන් පසු ඔහුගේ මුණුපුරු ධර්මපාල කුමරු පෘතුගීසින්ගේ ඕනෑ එපාකම් මත කොළඹ කොටුවේ කල් ගෙවීය. ඔහු බෞතීස්ම ලබා දොන් ජුවන් ධර්මපාල යනුවෙන් තම නාමය ද වෙනස් කර ගත්තේය. තව ද කෝට්ටේ ප්‍රදේශය තම ඇවැමෙන් පරංගින්ට අයිති වන ලෙස තෑගී ඔප්පුවක් ද සකසන ලදී. මෙවැනි දේශ ද්‍රෝහී ක්‍රියාවන් පිළිබඳ කිපුණු සීතාවක රාජසිංහ රජු නැවතත් කෝට්ටේ ට ප්‍රහාරයක් එල්ල කරන ලදී. 1587 දී සිදුවන මේ ආක්‍රමණයට යුද සෙබළුන් 50,000 ක් යුධ ඇතුන් 2,200 ක් ද රෝද 9 න් යුතු යුධ රථ ද ගොඩබිමින් ගෙන ගිය අතර කැළණි ගඟෙන් හා මුහුදු මාර්ගයෙන් ගමන්ගත් යුධ යාත්‍රාවන් ද කොළඹ කොටුවට පහර දීමට යොදාගෙන ඇත. මේ අතරතුර පෘතුගීසින්ගේ උදව්වට ගෝවෙන් පැමිණි යුධ නැවකට ලෝකඩ කාලතුවක්කුවකින් රජු විසින්ම වෙඩි තබා විනාශ කළ බව රාජාවලියේ දැක්වේ. අවසානයේ ධර්මපාල කුමරු ඇතුළු පරංගි සේනාව නැවතත් කොළඹ කොටුවට සීමා කිරීමට රාජසිංහ රජු සමත් විය.
මේ අතරතුර කන්ද උඩරට පාලකයා වූ කරලියැද්දේ බණ්ඩාර දොන් ජුවන් නමින් බෞතිස්ම ලබා කතෝලික දහම වැළඳගෙන පෘතුගීසින්ට පක්ෂපාතී වූ බැවින් ඔහු සිහසුනෙන් නෙරපා සීතාවකට පක්ෂපාතී වීරසුන්දර බණ්ඩාර උඩරට පාලකයා ලෙස පත් කරන ලදී. ඒ අනුව උඩරට රාජ්‍යයට අයත් සියළු බිමි සීතාවක රාජධානියට නතු විය. තවද යාපනය රාජ්‍යයයේ සිටි ආර්ය චක්‍රවර්තීන් තමා වෙත අවනත කරගත් රාජසිංහ රජු වන්නියාර්වරු 18 ක් පාලනය කළ වන්නි ප්‍රදේශ ද සීතාවක රාජධානියට නතු කරගත් බව ඉතිහාසයේ දැක් වේ.
රාජසිංහ රාජ්‍ය සමය වන විට මෙරට අග්‍රරාජධානිය වූ සීතාවක කොළඹ කොටුව හැරුණු විට ලක්දිව සිව් කොණ ම සිය අණසකට නතුකරගත් ප්‍රභල රාජ්‍යයක් විය.
සීතාවක රාජසිංහ රජු පීතෘ ඝාතකයෙක් මෙන්ම සඟගණට විණ කළ අයෙක් ලෙස කියැවෙන පෘතුගීසි වාර්තා හා වෙනත් ඉතිහාස ග්‍රන්ථ වල මෙතුමා අරිට්ටකීවෙණ්ඩු පෙරුමාල් නම් ශිව ආගමිකයාගේ මඟ පෙන්වීම යටතේ ශිව ආගම වැළඳ ගත්තකු බවට දැක්වූව ද සීතාවක යුගය ගැන ලියැවුණු ප්‍රධානතම කෘතියක් වන මානියංගම රජමහා විහාරවාසී හිමි නමක් විසින් රචිත 'සීතාවක රාජසිංහ රාජ්ජ කාලය' ග්‍රන්ථයේ රාජසිංහ රජු පියා මැරූ බවක් හෝ බුදු සසුන විනාශ කළ බවක් හෝ සඳහන් නොවේ.
කෙතරම් රණශුර දේශප්‍රේමී පාලකයකු වූවත් සීතාවක රාජසිංහයන්ගේ අවසානය ලියැවෙන්නේ පරාජයකිනි.
උඩරට රාජ්‍ය සීතාවකට නතු කරගත් පසු එහි පාලකයා වූ වීරසුන්දර බණ්ඩාර රාජසිංහ රජුට විරුද්ධව ක්‍රියා කළ හෙයින් රජු විසින් ඔහු මරණයට පත් කරන ලදී. වීරසුන්දර බණ්ඩාරගේ පුත් කොනප්පු බණ්ඩාර පෘතුගීසින් වෙත පලා ගොස් නැවත සේනා සංවිධානය කොට උඩරට රාජ්‍යයට පහර දෙයි. මෙම තරුණ සෙනවියා හා සීතාවක රාජසිංහ රජු අතර බලන දී සිදු වූ සටනින් සීතාවක රාජසිංහ රජු පරාජයට පත් වේ. "උඩරට මට වඩා පින්වන්තයෙක් පහළ වී ඇතැ" යනුවෙන් පවසා පසුබැසි රාජසිංහ රජු පෙතංගොඩ උයනේදී විවේක ගැනීමට නැවතී සක්මනෙහි යෙදෙන විට උණ කටුවක් පතුලෙහි ඇනීමෙන් අනතුරුව එම වණය විෂ වී කළුරිය කළ බව ඉතිහාසයේ දැක්වේ. රාජසිංහයන් පරාජය කළ ඒ තරුණ සෙනවියා වූ කොනප්පු බණ්ඩාර පළමු වැනි විමලධර්මසූරිය නමින් උඩරට රාජ්‍යත්වයට පත් විය.
කෙසේවෙතත් මෙරට පරංගින්ගෙන් මුදවා ගැනීමට අපමන වෙහෙසක් දැරූ සීතාවක රාජසිංහයාණෝ ක්‍රි.ව 1581 සිට 1592 දක්වා අපරාජිත රාජ්‍යයක නායකත්වය දැරීය. රාජසිංහ රජුගේ ඇවෑමෙන් අනුප්‍රාප්තිකයකු නොසිටි බැවින් සීතාවක රාජ්‍යයට අයත් උඩරට ප්‍රදේශ හා වන්නි 18 ස්වාධීන වූ අතර වෙරළබඩ ප්‍රදේශ නැවත පෘතුගීසි පාලනයට නතු විය.
සීතාවක යුගයේ සාහිත්‍යය
කෙතරම් යුධමය වාතාවරණයන්ගෙන් ගහණ කාලපරිඡේදයක් වූව ද සීතාවක යුගයේ සාහිත්‍ය කෘති ගණනාවක් ම ලියැවී ඇත. සීතාවක යුගයේ බිහිවූ ගිහි පැවිදි පඬිවරු රාශියකි. සිටිනාමළුවේ ධම්මපාල තෙරුණ් වහන්සේ හා අලගියවන්න මකවෙටි තුමා වැනි උගතුන් සීතාවක රජ්‍ය සමසේ සාහිත්‍යකරණයේ නියැළුණහ. කෝටටේ යුගය තරමට දීප්තිමත් නොවූවද සීතාවක යුගය සිංහල සාහිත්‍යයට සිදුකර ඇති මෙහෙය අපමණ ය.
සීතාවක යුගයේ ලියැවුණු ග්‍රන්ථයන් හා ඒවායේ කතුවරු පහත දැක්වේ.
- සිටිනාමළුවේ ධම්මපාල තෙරුණ් - ‘සීතාවක රාජසිංහ රාජ්ජ කාලය
- හිස්වැල්ලේ ධර්මද්වජ පඬිතුමා - දහම් සොඬ දා කව
- අලගියවන්න මුකවෙටි තුමා - සැවුල් සංදේශය , සුභාෂිතය , කුසදා කව,මුණිගුණරත්නමාලය, කුන්ස්තන්තීනු හටන
- අලහපෙරුම විජයවර්ධන මුදලි - සීතාවක හටන
මේ අනුව සලකා බැලීමේ දී සීතාවක යුගය සාහිත්‍යමය වශයෙන් ද පෝෂිත යුගයක් බවට පසක් වේ.
සීතාවක ආගමික වටපිටාව
සීතාවක යුගයේ දී බුදුදහමට විශාල රාජානුග්‍රහයක් හිමි වූ බව ඉතිහාසයේ දැක්වේ. දෙල්ගමුව විහාරයේ වැඩසිටි දළදා වහන්සේට උපහාර වශයෙන් වාර්ෂිකව පෙරහැර මංගල්‍යයක් පවත්වා ඇත. සීතාවක රාජසිංහ රාජ්‍ය කාලයේ හඳගිරිය, කුට්ටාපිටිය, පැල්මඩුල් ල, නෙළුම්දෙනිය යන ගම් විහාර ගම් ලෙස දෙල්ගමු විහාරයට පූජා කළ බව සඳහන් වේ. එමෙන්ම ශ්‍රී පාදස්ථානයට ද රාජ්‍ය අනුග්‍රහය හිමි වී ඇත. සබරගමුව මහ සමන් දේවාලයේ ද වාර්ෂික පෙරහැර සීතාවක යුගයේ දී ඇරඹුණි. මානියංගම, දෙල්ගමුව, ආදී විහාර රාජමහා විහාර ලෙස සංවර්ධනය වූ බව ඉතිහාසයේ දැක්වේ. රාජසිංහ රජු විසින් දුශ්ශීල භික්ෂුන් සිවුරු හැරවූ බවත් ඔවුන් අතුරින් රාජ්‍යෙද්‍රෝහී වූවන්ට දඬුවම් කළ බවත් ඉතිහාස ග්‍රන්ථ වල සඳහන් වේ.
එමෙන්ම සීතාවක යුගයේදී දේවාගමට ද අනුග්‍රහය හිමි වී ඇත. ඒ අනුව නවගමුව, කබුළුමුල්ල, මැදගොඩ හා කඩදොර ප්‍රදේශ වල පිහිටි පත්තිනි දේවාල සඳහා රාජ අනුග්‍රහය ලබා දී ඇත. කෙසේ නමුත් රාජසිංහ රජු බුදුදහමට අමතරව ශිව ආගමට ද (හින්දු) අනුග්‍රහය දුන් බව බැරැණ්ඩි කොවිල නම් දේවාලය ඉදිකිරීම තුලින් පැහැදිලි වේ.
අදටත් සබරගමුවේ සමන් දේව වන්දනාවට අමතව පත්තිනි දෙවියන් පිදීමද දක්නට ඇත. සීතාවක රාජසිංහ රජු මරණින් මතු දේවත්වයෙහි ලා පිදීමට ද ජනයා උත්සුක විය. ඒ අනුව ගනේගොඩ දෙවියන් ලෙස සබරගමුවේ ජනයා අදටත් සීතාවක රාජසිංහ නරේන්ද්‍රයන් පුදනු ලබයි.
සීතාවක රාජධානිය මායාදුන්නේ හා සීතාවක රාජසිංහ යන ශ්‍රේෂ්ඨ නරපතීන් දෙපල යටතේ ක්‍රි.ව 1521 සිට ක්‍රි.ව 1592 දක්වා වසර 70 ට අධික කාලයක් මෙරට අග්‍රරාජධානිය ලෙස පැවතුණි. සීතාවක යුගයේදී පෘතුගීසීන් හට එල්ල කළ දරුණු ප්‍රහාර මෙරට ඉතිහාසයේ රන් අකුරින් ලියැවී ඇත. සීතාවක රාජධානිය නොතිබෙන්නට ලක් දිව එදා සම්පූර්ණයෙන්ම පරංගින්ගේ ග්‍රහණයට නතු වනු ඇත. සීතාවක යුගය පිළිබඳ අප ගෞරවාන්විතව සිහිපත් කළ යුත්තේ එබැවිණි.
(ආශ්‍රිත ග්‍රන්ථ -"සීතාවක රාජසිංහ රජ දවස" -මහානාම දුනුමාල , "අසිරිමත් සීතාවක"- අයි.ඩී.ඒ.පී ධනපාල හා චන්න කුසල් , "සීතාවක රණ බිම" - සීතාවක චන්න කුසල් [ශ්‍රාස්ත්‍රවේදී] )
සැකසුම: කුසල් කාවින්ද අමරසිංහ විසිනි.
0 Comments :
Post a Comment