දහතුන, පළාත්සභා ක්‍රමය හා බලය බෙදීම...


1.     ජනවාර්ගික අර්බුදයක ආරම්භය හා විකාශනය.

ශ්‍රී ලංකාව යනු සමාජ-සංස්කෘතික බහුවිධතාවයන්ගෙන් සමන්විත කුඩා රාජ්‍යයකි. ශ්‍රී ලංකාවේ සමාජ-සංස්කෘතික බහුවිධතාවය ජනවාර්ගික, ආගමික හා භාෂාමය වැනි විවිධ වූ පැතිකඩ ගණනාවකින් නිරීක්ෂණය කළ හැක.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාකරණයේ ඉතිහාසය 19 වැනි සියවසේ මුල්භාගය දක්වා විහිදී යයි. බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමය තුළ අවස්ථා ගණනාවකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කීපයක්ම අධිරාජ්‍යවාදීන් විසින් මෙරටට ප්‍රදානය කරන ලදී. මෙම ආණ්ඩුක්‍රමයන්ගේ සුවිශේෂීත්වය වන්නේ ව්‍යවස්ථාදායකය සඳහා වන නියෝජිතයන් ජනවාර්ගික පදනම මත තෝරා පත්කර ගැනීමයි. මෙය අධිරාජ්‍යවාදී පාලනයේ එක් මූලෝපායික සිද්ධාන්තයක් විය. එනම් යටත් විජිතයන් තුළ පොදු ජාතිකත්වයක් ගොඩනැංවීම වැලැක්වීම සඳහා බහුසංස්කෘතික සීමාවන් තුලින් එම ජාතිය බෙදා වෙන් කිරීමයි. මෙම සංකල්පය ‘බෙදා වෙන්කර පාලනය කිරීම‘(Divided control) යනුවෙන් හැඳින්වේ. බෙදා වෙන්කර පාලනය කිරීම තුළින් අධිරාජ්‍යවාදී පාලකයන් හට සිය පාලනය මෙහෙයවීම පහසු වූවද එය විනාශකාරී අර්බුදයක මූලාරම්භය විය.  
1947 සොල්බරි ආණ්ඩුක්‍රමය හඳුන්වාදීමෙන් පසු මෙරට පාලනතත්ත්‍රය ඉංග්‍රීසින්ගෙන් ස්වදේශිකයන් වෙත හිමිවන අවස්ථාවේදී දේශපාලන බලය හිමි වූයේ බහුතර ජනවාර්ගික පදනමක් සහිත සිංහල ජන නායකයන් වෙතය. මෙය ප්‍රධාන සුළුතරය වූ ද්‍රවිඩ ජනවර්ගයට සිදුවන දැඩි අසාධාරණයක් ලෙස ද්‍රවිඩ දේශපාලන නායකයෝ සිතූහ. කෙසේ වෙතත් 1947 සොල්බරි ආණ්ඩුක්‍රමය තුළ සුළුජන අයිතිවාසිකම්[1] ආරක්ෂා කිරීම හරහා ඒ තත්ත්වය යම් තරමකට මඟහැරුණි. කෙසේ නමුත් 1948 වසරේ දී හඳුන්වාදෙනු ලැබූ පුරවැසි පනත[2] මඟින් ඉන්දීය සම්භවයක් සහිත ද්‍රවිඩ ජනතාවට විශාල අසාධාරණයක් සිදුවූ අතර 1956 රාජ්‍ය භාෂා පනත[3] හඳුන්වාදීම හරහා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම තුළින් වාර්ගික ගැටලුවට භාෂාමය මුහුණුවරක් එක් විය. මෙම පුරවැසි පනත හා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සෘජුවම මෙරට රාජ්‍ය සේවය, අධ්‍යාපනය හා දේශපාලන ක්ෂේත්‍රය තුළ වියවුල් සහගත තත්ත්වයක් ඇති කරවන ලදී. මෙවැනි වාතාවරණයක් තුළ ද්‍රවිඩ ජනයා බහුතරය වාසයකරන උතුරු-නැගෙනහිර ප්‍රදේශයන්හි ස්වාධීන පාලන ව්‍යුහයක් ගොඩ නඟාගැනීමේ අරමුණින් නිර්මාණය වූ ෆෙඩරල් පක්ෂය විසින් ශ්‍රී ලංකාව තුළ සන්ධීය රාජ්‍ය ක්‍රමයක් ක්‍රියාත්මක විය යුතු බවට යෝජනා කරන ලදී. 1957 බණ්ඩාරනායක-චෙල්වනයගම් ගිවිසුම හා 1965 ඩඩ්ලි-චේලවනායගම් ගිවිසුම වැනි දේශපාලන සම්මුතීන් ඔස්සේ ස්වකීය අරමුණ ඉටුකරගැනීමට ඔවුන් උත්සහ කළද ඒ කිසිවක් සාර්ථක වූයේ නැත.
1972 ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සුළුජන අයිතීන් වෙනුවට මූලික අයිතිවාසිකම් පරිඡේදයක් හඳුන්වාදුන් අතර 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ද මූලික අයිතිවාසිකම් පරිඡේදයක් හා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ නෛතික යාන්ත්‍රණයක් ද හඳුන්වා දෙන ලදී. කෙසේ නමුත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ද්විත්වය තුළින්ම ජනවාර්ගික ගැටළුවට නියමිත විසඳුමක් ඉදිරිපත් නොවීය. 1977 මහමැතිවරණයෙන් ආසන 18ක් දිනාගත් ‘ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ‘ පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය බවට පත්වීම මෙරට මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවකි. එහිදී උතුරේ සියළුම මැතිවරණ කොට්ඨාස ජයග්‍රහණය කිරීමට ‘ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ‘ සමත් විය. 1980 දී ‘දිස්ත්‍රික් සංවර්ධන සභා‘ යනුවෙන් නව පරිපාලන ව්‍යුහයක් ඇති කරන ලදී.  මේ අතර 1983 වසරේදී ‘කලු ජූලිය‘ නමින් ඇතිවූ සිංහල-දෙමළ කොලාහලය ජනවාර්ගික විරසකභාවය වඩා ත්‍රීවුර කරවූ සාධකයක් විය. 1985 භූතානයේ තිම්පු හිදී සිදුකෙරුණු තිම්පු සාකච්ඡා අනුව දෙමළ ජනතාවට ස්‌ථීර විසඳුමක්‌ දිය යුතු යැයි ඉල්ලීමක්‌ කරනු ලැබූවද එහි වූ කොන්දේසි වලට සිංහල නායකයන් එකඟ නොවූ බැවින් එයද අසාර්ථක විය.
මේ වන විට උතුරේ ද්‍රවිඩ තරුණයන් විසින් ‘ඊළාම්‘(ஈழம்) සංකල්පය මුල් කරගනිමින් ද්‍රවිඩ ජනයා වෙනුවෙන් වෙනම රාජ්‍යයක් නිර්මාණය කිරීමට උතුරු-නැගනහිර සන්නද්ධ විමුක්ති ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණි. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය වඩාත් දරුණු ගැටුම්කාරී තත්ත්වයකට පත්වෙමින් තිබියදී ඉන්දියාව විසින් 1986 දී බලහත්කාරයෙන් මෙරට ගුවන්සීමාව උල්ලංඝනය කරමින් ගැටුම් පැවති යාපනය අර්ධද්වීපයට ගුවනින් සහනාධාර හෙලන ලදී. ඉන්දියානු බලපෑම මත 1987 දී මෙරට ජන වාර්ගික ගැටලුවට විසඳුමක් සැපයීම අරමුණු කරගනිමින් ඉන්දු-ලංකා ගිවිසුම නිර්මාණ කෙරුණි. ශ්‍රී ලංකා ජනාධිපති ජේ.ආර් ජයවර්ධන හා ඉන්දීය අගමැති රජිව් ගාන්ධි විසින් ඊට අත්සන් කරන ලදී. මෙම ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස උතුරේ ගැටුම් පැවති ප්‍රදේශ වෙත ඉන්දීය සාම සාධක හමුදා අනුයුක්ත කරන ලද අතර දේශපාලනික විසඳුමක් වශයෙන් මෙරටට පළාත් සභා ව්‍යුහයක් යෝජනා විය.ඒ අනුව 1987 දී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා පළාත් සභා පනත[4] ඔස්සේ ශ්‍රීලංකාවට පළාත් සභා ක්‍රමය හඳුන්වාදෙන ලදී. අනතුරුව පැවැත්වූ පළාත් සභා මැතිවරණයෙන් උතුරු-නැගනහිර පළාතේ මහඇමති වූ වරධරාජා පෙරුමාල් ගේ අත්නෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් එම පළාත ආණ්ඩුකාරවරයකු යටතට පත් කිරීමට ජනාධිපතිවරයාට සිදු විය. 2006 වසරේදී උතුර හා නැගනහිර පළාත් දෙකක් ලෙස වෙන් කිරීමේ නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලදී. මේ වනවිට උතුරු-නැගෙනහිර පාලන බලය සම්පූර්ණයෙන්ම පාහේ ‘ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි(LTTE) සංවිධානයට හිමිවී තිබුණි. 2006 වසරේදී ආරම්භ වුණු සිව්වන ඊළාම් යුද්ධය අවසන් වූයේ රජයේ හමුදා විසින් 2009 වසරේදී ‘කොටි‘ සංවිධානය යුධමය වශයෙන් පරාජය කිරීමත් සමඟය. දශක තුනක පමණ කාලයක් උතුරේ පැවති අභ්‍යන්තර සිවිල් යුධ තත්ත්වය අවසන් වීමත් සමඟ 2008 දී නැගෙනහිර පළාත් සභා මැතිවරණයද 2013 දී උතුරු පළාත් සභා මැතිවරණයද පැවැත්වීමට රජයට හැකි විය.
කෙසේ වූවද පශ්චාත් යුධ සමය තුළ ජනවාර්ගික ගැටළුව නිරාකරණය සඳහා උචිත වූ සාධනීය යාන්ත්‍රණයක් තවදුරටත් නිර්මාණය වී නොමැත. ජනවාර්ගික අර්බුදයට විසඳුමක් ලෙස ඉදිරිපත්  වූ පළාත් සභා ක්‍රමය තුළද පැහැදිලි අඩුපාඩු රැසක් දක්නට ඇත. 
  
2.     ශ්‍රී ලංකාවේ පළාත් සභා ව්‍යුහය සරලව.

1987 ඉන්දු-ලංකා ගිවිසුමේ අනුශාංගික ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් පළාත්සභා ක්‍රමයේ මූලික අරමුණ වූයේ මෙරට ජනවාර්ගික අර්බුදයට නිසි දේශපාලනික විසඳුමක් ලබාදීමයි. ඒ අනුව 1987 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදුකරන ලද 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා පළාත් සභා පනත හරහා මෙම නව දේශපාලනික හා පරිපාලන ව්‍යුහය ගොඩනංවන ලදී. අදාල පළාතට අයත් භූගෝලීය බලප්‍රදේශය තුළට බලපාන පරිදි ලැයිස්තුගත කරුණු සම්බන්ධයෙන් පමණක් වන ව්‍යවස්ථාදායක බලය ඇතුලු ප්‍රාදේශීය පරිපාලන බලතල පළාත් සභාවලට හිමි විය.[5]
ශ්‍රී ලංකාවේ පළාත් සභා ක්‍රමයට පදනම් වන්නේ බලය විමධ්‍යගත කිරීම (Decentralization) නොව බලය බෙදීම (Devolution) යන දේශපාලනික සංකල්පයයි. ඒ අනුව විධායක, ව්‍යවස්ථාදායක බලතල ලැයිස්තුගත නිශ්චිත රාමුවක් ඇතුලත ක්‍රියාත්මක කළ හැකි ආකාරටය පළාත් සභා වෙත ප්‍රදානය කර ඇත. පළාත් සභා පිහිටුවීම හරහා අදාල පළාත තුල වාසය කරන ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය (Self-Determination) සුරක්ෂිත කිරීම අරමුණු කරන ලදී.
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුතීන්දුවේ[6] සඳහන් වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන ඒකීය රාජ්‍ය ව්‍යුහයට හානි නොවන පරිදි පළාත් සභා වෙත විධායක හා ව්‍යවස්ථාදායක බලතල පමණක් ලබාදී ඇති බව ප්‍රකාශ විය. 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ප්‍රධාන ලැයිස්තු තුනක් මඟින් බලතල බෙදා දක්වන ලදී. එවා නම්, පළාත්සභා ලැයිස්තුව, සමගාමී ලැයිස්තුව හා සංවෘත ලැයිස්තුවයි. මෙම ලැයිස්තු අතුරින් පළාත් සභා සඳහා ස්වාධීනව ප්‍රඥප්ති සෑදීමේ බලතල හිමි වී ඇත්තේ පළාත් සභා ලැයිස්තුවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පමණි.[7] පළාත් සභාවක විධායකයේ ප්‍රධානියා වන්නේ ආණ්ඩුකාරවරයා ය. එම ධූරය ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබයි. පළාත් සභාවක ව්‍යවස්ථාදයකය තුළින් ප්‍රධාන අමාත්‍යවරයා හා අමාත්‍ය මණ්ඩලය තොරාපත්කර ගනී. [8]
3.     13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුතීරණය.
121 ව්‍යවස්ථාව ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට හිමිව ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්ථනිරූපණ බලතල අනුව 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හා පළාත් සභා පනත් කෙටුම්පත ජනරජ ව්‍යවස්ථාවට අනුකූල ද? අනනුකූල ද? යන්න විමසා බලන ලදී. මෙහිදී නව දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඬුල්ලේ ශර්වානන්ද අගවිනිසුරු ඇතුළු කොලින් තේමේ, තම්බයියා හා අතුකෝරළ යන විනිසුරුවරු ප්‍රකාශ කළේ මෙම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහයට බලපෑමක් නොවන බැවින් එය සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ 2/3ක අනුමැතියට අමතරව ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවයි. රණසිංහ විනිසුරු ඊට එකඟ වූ නමුත් කෙටුම්පතේ පැවති 154 (උ) 2 ආ. සහ 154 (උ) 3 ආ. යන ව්‍යවස්ථා සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව පැවසීය. නමුත් වනසුන්දර, අල්විස්, සෙනවිරත්න හා ද සිල්වා යන විනිසුරුවරු ප්‍රකාශ කළේ මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අත්‍යවශ්‍ය වන බවයි. රණසිංහ විනිසුරු සඳහන් කළ වගන්ති ද්විත්වය පාර්ලිමේන්තුව විසින් සංශෝධනය කළ අතර ඒ අනුව බහුතර මතය වූයේ කෙටුම්පත් සම්මත වීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවයි.
කෙසේ නමුත් මෙම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකට භාජනය වීම වලක්වන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉතා සුළු බහුතරයකිනි. යම්හෙයකින් මේ සඳහා ජනමත විචාරණයක් පැවැත්වූයේ නම් එය සම්මත නොවනු ඇති බව බොහෝ විචාරකයන්ගේ අදහසයි. මහජනතාවගේ අදහස් නොවිමසා රාජ්‍ය ව්‍යුහය වෙනස් කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී බව 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විවේචනය කරන්නන්ගේ ප්‍රධානතම තර්කයයි.
4.     පළාත් සභා ව්‍යුහය තුළ බලය බෙදීමේ ක්‍රියාදාමය.
ව්‍යවස්ථාදායක  බලතල
පළාත් සභා වෙත ව්‍යවස්ථාදායක බලය හිමිව පවතින්නේ 154(උ) ව්‍යවස්ථාවට අනුව 9වන උපලේඛණයේ පළමුවන ලැයිස්තුවේ එනම් පළාත් සභා ලැයිස්තුවේ දක්වා ඇති කරුණු සම්බන්ධයෙන් පමණි. මෙම ලැයිස්තුගත කරුණු ගණන 37 කි. වඩා විවාදාත්මක වූ පොලිස් හා මහජන ආරක්ෂාව පිලිබඳව වන බලතල හා ඉඩම් බලතල ද පළාත් සභා ලැයිතුවේ දැක්වේ. පළාත් සභා සඳහා සිය ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කළ හැක්කේ එම පළාත ඇතුලත පමණි. පළාත් සභා ප්‍රඥප්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සැකසිය යුතුය.
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුතීන්දුවේ බහුතර මතය වූයේ පළාත් සභා සතු ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක  බලය ඉක්මවා නොයන බවයි. නමුත් සුළුතර මතය නියෝජනය කළ වනසුන්දර වි. ප්‍රකාශ කළේ මෙමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 වන ව්‍යවස්ථාවට උල්ලංඝණය වන බවයි.එනම් ‘...කවරවූ හෝ ව්‍යවස්ථාදායක බලයක් සහිත අධිකාරියක් පාර්ලිමේන්තුව විසින් නොපිහිටවිය යුත්තේය.‘ යන්න පළාත් සභා සතු ව්‍යවස්ථාදායක බලය මඟින් ඛණ්ඩනය වන බවයි. කෙසේ  වෙතත් මෙහිදී වඩාත් ගැටළුකාරී තත්ත්වය නම්, 154(උ) 2 හා 3 ව්‍යවස්ථා වල දක්වා ඇති ප්‍රතිපාදන අනුව පළාත් සභා ලැයිස්තුවේ සඳහන් කරුණක් සම්බන්ධව පාර්ලිමේන්තු යෝජනාවක් වෙත එක් පළාත් සභාවක් හෝ එකඟ නොවන්නේ නම් ඒ සඳහා 82 ව්‍යවස්ථාව අනුව විශේෂ කාර්යපටිපාටිය යටතේ ජනමත විචාරණයක අනුමැතිය පාර්ලිමේන්තුවට අවශ්‍ය වීමයි. මේ අනුව ජනතා කැමැත්ත නොමැති පාර්ලිමේන්තු මැදිහත්වීමක් රහිතව ව්‍යවස්ථාදායක බලය භුක්ති විඳීමේ හැකියාව පළාත් සභා වලට හිමි වේ. මෙය පාර්ලිමේන්තුවේ උත්තරීතර ව්‍යවස්ථාදායක බලයට වන හානියකි. එය වක්‍රාකාරව රාජ්‍යයේ එකීය ස්වභාවයට වන හානියක් වේ.
විධායක  බලතල
පළාත් සභාවක විධායකය දෙයාකාර වේ. එය ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන ආණ්ඩුකාරවරයෙකුගෙන් හා මහජනඡන්දයෙන් තේරීපත්වන ප්‍රධාන අමාත්‍යවරයා හා ඇමති මණ්ඩලයකින් සමන්විත ය. මෙහිදී ශර්වානන්ද අගවිනිසුරු පෙන්වා දුන්නේ පළාත් සභාවේ විධායකයේ ප්‍රධානියා වන ආණ්ඩුකරු ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන බැවින් ඔහු ජනාධිපතිවරයාගේ නියෝජිතයකු වශයෙන් ක්‍රියා කරනු ලබන බවයි. ඒ අනුව එහිදී 4(ආ) ව්‍යවස්ථාව සමඟ ගැටීමක් ඇති නොවන බව ප්‍රකාශ විය. කෙසේ වෙතත් වනසුන්දර විනිසුරු පෙන්නා දුන්නේ 4(ආ) ව්‍යවස්ථාව අනුව ජනතාව සතු විධායක බලය අණ්ඩුකරු වෙත පවරාදිය නොහැකි බවයි. ඒ අනුව ජනාධිපතිවරයා හා ආණ්ඩුකාරවරයා අතර සිදුවන බලය අභිනියෝජනය පූර්ණවශයෙන්ම ව්‍යවස්ථා විරෝධී බව ඔහුගේ මතය විය.
කෙසේ වෙතත් සෑබෑ තත්ත්වය විමසා බැලීමේදී සැමවිටම ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයාගේ උපදෙස් පමණක් නොව ඇතැමි විට අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් මතද ක්‍රියා කළ යුතුව ඇත. ඔහු ස්වකීය අභිමතය ක්‍රියාත්මක කරන්නේ නම් එහිදී ජනාධිපතිවරයාගේ උපදෙස් ලබාගත යුතු වේ.
අධිකරණ  බලතල
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් මෙරට අධිකරණ ථේරාවලියට පළාත්බද මහාධිකරණ හඳුන්වාදෙනු ලැබීය. ඒ අනුව හබයාස් කෝපුස් , මැන්ඩාමුස් , සර්ටියෝරාරි හා තහනම් නියෝග  ගණයේ රීට් ආඥා නිකුත් කිරීමේ බලයත්, පළාත් සභා ප්‍රඥප්ති වලට අදාල වැරදි පිළිබඳව හා පළාත් සභා ලැයිස්තුවේ සඳහන් කරුණු සම්බන්ධව නඩු විභාග කිරීමේ බලයත්, අදාල පළාතේ පහළ උසාවි වල අභියාචනා විභාග කිරීමේ බලයත්, පළාත්බද මහාධිකරණය වෙත හිමි වී ඇත.
මෙහිදී ප්‍රශ්නගත වූයේ ජනතාව සතු අධිකරණ බලය පළාත් වෙත බෙදා හැරීමක් සිදුවී ඇතිද ? යන්නයි. එහිදී අධිකරණය ප්‍රකාශ කළේ පළාත්බද මහාධිකරණ වෙත අභියාචනාත්මක හා ප්‍රතිශෝධාත්මක යන රිට් අධිකරණ බලය ගොනු වීම තුළින් පමණක්ම පළාත් වෙත අධිකරණ බලය බෙදාහැරීමක් සිදු වී නැති  බවයි. මෙහිදී සිදු වී ඇත්තේ අධිකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණය වීමක් පමණි. ශර්වානන්ද අගවිනිසුරුවරයා ප්‍රකාශ කළේ මෙහිදී සිදු වී ඇත්තේ “යුක්තිය ජනතාව වෙත සමීප වීමක්“ බවයි. 
5.     පළාත් සභා වෙත බලය බෙදීම හරහා රාජ්‍යයේ ඒකීය භාවයට හානි වන්නේද?
පළාත් සභා ක්‍රමය හඳුන්වාදීම තුළ මතුවූ ප්‍රධානතම ගැටළුව වන්නේ ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2වන ව්‍යවස්ථාව තුළ දක්වා ඇති රාජ්‍යයේ ඒකීය ස්වභාවයට හානි වන්නේද ? යන්නයි. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීරණයේදී බහුතර මතය වූයේ පළාත් සභා ක්‍රමය හරහා මෙරට ඒකීය ස්වභාවයට හානියක් නොවන බවයි. ශර්වානන්ද අගවිනිසුරු ප්‍රකාශ කළේ පළාත් සභා ක්‍රමය ස්ථාපිත කිරීම තුළ ෆෙඩරල් රාජ්‍ය ව්‍යුහයක් නිර්මාණය නොවන බවයි. එහිදී ඒකීය රාජ්‍යයක තුළ පැවතිය යුතු මූලිකාංග ද්විත්වයක් අධිකරණය පෙන්වාදෙන ලදී.
        i.            මධ්‍යම ව්‍යවස්ථාදායකයේ උත්තරීතරභාවය.
      ii.            සහාධිකාරී පාලන ව්‍යුහයන්ගේ අප්‍රාප්තිය.
මෙහිදී ආචාර්ය වෙයාර් (Dr Wheare) විසින් රචිත ‘නූතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‘("Modern Constitutions") කෘතිය උපුටා දක්වමින් අධිකරණය පෙන්වා දෙන්නේ සන්ධීය රාජ්‍ය ව්‍යුහයක් තුළ එකිනෙකට වෙනස් ස්වාධීන පාලන ඒකක තම බලඅධිකාරය වෙන්වෙන් වශයෙන් බුක්ති විඳින නමුත් ඒකීය ක්‍රමයක් තුළ මධ්‍ය ව්‍යවස්ථාදායකය සමස්ත රාජ්‍යයේම නීති සම්පාදනයේ උත්තරීතර ආයතනික ව්‍යුහය වන බවත් එමඟින් වෙනත් ආයතනයන් හට නීති සම්පාදනය කිරීමේ බලය ලබාදිය හැකි වූවද ඒවා යටපත් කිරීමේ හැකියාව ද හිමිව පවතින බවයි.[9] ඒ අනුව බහුතර මතය වූයේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් පාර්ලිමේන්තුවේ උත්රීතරභාවයට කිසිඳු හානියක් නොවන බවයි. තවදුරටත් අධිකරණය දැක්වූයේ 154.(උ) 2 හා 3 යන ව්‍යවස්ථා මඟින් පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍යය සීමා නොකරන බවත් එය හුදෙක් කාර්යපටිපාටික ප්‍රතිබාධනයක් පමණක් වන බවයි.
කෙසේ නමුත් සුළුතර මතය නියෝජනය කළ වනසුන්දර විනිසුරුවරයා විසින් ඉන්දීය ආණ්ඩුක්‍රමය හා සංසසන්දනය කරමින් ප්‍රකාශ කළේ ඉන්දීය ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් විසින් සිය අනුමත කිරීමේ  බලය හා නිශේධ බලය බුක්ති විඳිනු ලබන්නේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත බවයි. එහෙත් ශ්‍රී ලංකාව තුළ පළාත් ආණ්ඩුකාරවරයකු වෙත අනුමැතිය සඳහා ඉදිරිපත්වන ප්‍රඥප්ති කෙටුම්පතක් සඳහා අනුමැතිය ලබා නොදී එය ජනාධිපතිවරයා හරහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර එහි ව්‍යවස්ථානුකූලභාවය පරික්ෂා කිරීමේ හැකියාව පළාත් ආණ්ඩුකාරවරයකුට ඇත. ඒ අනුව ඉන්දියාවට වඩා ශ්‍රී ලංකාව තුළ පළාත්සභා ප්‍රඥප්ති අනුමත කිරීමේ බලය මධ්‍යයේ පාලනයෙන් ව්‍යුත්පන්න වී ඇත.තවද මහජන ආරක්ෂාව හා අභ්‍යන්තර ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් එල්ල වී ඇති අවස්ථාවක දී මධ්‍යම රජයට මැදිහත් විය හැකි ආකාරය  13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් සලසා ඇති ප්‍රතිපාදන වලට වඩා වැඩි ඉඩකඩක් ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල දක්වා ඇති බව වනසුන්දර විනිසුරු පවසයි. එමෙන්ම ජාතික යහපත උදෙසා ප්‍රාන්ත ලැයිස්තු වල සඳහන් කරුණු සම්න්ධව තීරණ ගැනීමට ඇති හැකියව ඉන්දීය මධ්‍යම රජය සතුවේ. මේ අනුව ෆෙඩරල් රාජ්‍ය ව්‍යුහයක් ලෙස සැලකුවද ඉන්දියාව තුළ පවා ශක්තිමත් මධ්‍යගත පාලනයක් පවතින බව වනසුන්දර විනිසුරුවරයා පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ පළාත් සභා තුළ නීති සම්පාදනය කිරීමේ යාන්ත්‍රණය හුදෙක්ම මධ්‍යයට යටත්වූවක් නොවන අතර ඒ පිළිබඳ වන හොඳම උදාහරණ වන්නේ නැගනහිර පළාත් සභාව හා බස්නාහිර පළාත්සභාව තුළ නීතිය හා සාමය පිළිබඳ හා පොලිස් බලතල ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රඥප්ති සම්පාදනය කිරීමයි. මේ තත්ත්වය මධ්‍යම රජයේ ව්‍යවස්ථාදායක බලය අභිබවා යාමකි. ඒ තුළ රාජ්‍යයේ ඒකීය භාවයට සෘජු බලපෑමක් වන බව සුළුතර මතය විය.154(උ) 8 හා 154(උ) 9 යන ව්‍යවස්ථා අනුව පළාත් සභා ලැයිස්තුවේ හා සමගාමී ලැයිස්තුව තුළ සඳහන් කිසියම් කරුණක් සම්බන්ධව පාර්ලිමේන්තුව පනවන ලද නීතියක් ඉක්මවා යෑමේ හැකියාවක් පළාත්සභා ප්‍රඥ්ප්තියකට පවතින්නේද ? යන්න පිළිබඳ ප්‍රශ්නගත විය. ඒ අනුව 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් 76(1) ව්‍යවස්ථාව උල්ලංඝණය කෙරෙන බව සුළුතර මතය වූ අතර මේ තත්ත්වය පැහැදිලිවම රජ්‍යයේ ඒකීයභාවයට හානියකි.
මේ අනුව 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුතීන්දුව පිළිබඳ සලකා බැලීමේදී  සුළුතර මතය වන්නේ මෙම සංශෝධනය ශ්‍රී ලංකාවේ ඒකීයභාවයට හානියක් වන බවයි. කෙසේ නමුත් බහුතරය විසින් තීරණය කළේ  පළාත් සභා ව්‍යුහය හරහා රටේ ඒකීය භාවයට බලපෑමක් නොවන බවයි.
6.     ශ්‍රේෂ්ඨාධිකරණ නඩුතීරණයෙහි සුළුතර මතය තුළ ඇති දුර්වලතා.
මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සිය ‘ඒකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය රාමුවක් තුළ පළාත් ස්වයංපාලනය: ශ්‍රී ලංකා අර්බුදය[10] යන නිබන්ධනාත්මක ලිපිය තුළ 13 ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අධිකරණ තීන්දුව විවරණය කර ඇත. එහිදී පීරිස් මහතා ප්‍රකාශ කරන්නේ සුළුතර මතය ශක්තිමත්ව තහවුරු කිරීමට වැදගත් කරුණු ගණනාවක් ඉදිරිපත් වූවද වනසුන්දර විනිසුරු සිය තීරණය තුළ අවශ්‍යතාවයට වැඩි යමක් එක් කිරීමට උත්සහ කිරීම තුළ එම මතය අනතුරට බඳුන් වීම දක්නට ලැබුණු බවයි.
ව්‍යංගත්වය තුළින් ආරක්ෂාව සලසාගැනීම.
පාර්ලිමේන්තුවේ 2/3 අනුමැතියට අමතරව ජනමත විචාරණයකින් සම්මත විය යුතු වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් පිළිබඳ 83 ව්‍යවස්ථාවෙන් දැක්වේ. ඒ අතර 2වන ව්‍යවස්ථාව තුළ සඳහන් රාජ්‍යයේ ඒකීය ස්වභාවය; 3වන ව්‍යවස්ථාව තුළ ජනතා පරමාධිපත්‍යය යන මූලධර්ම සඳහන් වේ. කෙසේ වෙතත් ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව දැක්වෙන 4 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සම්බන්ධව 83 ව්‍යවස්ථාවේ සඳහනක් නොමැත. නමුත් වනසුන්දර විනිසුරුවරයා විසින් උත්සහ ගෙන ඇත්තේ 4 වන ව්‍යවස්ථාව 3වන ව්‍යවස්ථාව හා බැඳී පවතින්නක් වන බැවින් 13 වන ව්‍ය. සංශෝධනය තුළින් 4වන ව්‍යවස්ථාව ඛණ්ඩනය වන බවට තර්කයක් ගොඩනැඟීමටය. එමඟින් එය වක්‍රව 83 වන ව්‍යස්ථාවට බලපාන බව ඔහුගේ තර්කයක් විය. මහාචාර්ය පීරිස් මහතා පවසන පරිදි වනසුන්දර වි. විසින් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් 4වන ව්‍යවස්ථාව ඛණ්ඩනය වන ආකර 2ක් දක්වයි. පළමුවැන්න නම්,  පාර්ලිමේන්තුව සතු නීතිසම්පාදන බලය බෙදාහැරීම පිලිබඳ වන තර්කයයි. දෙවැන්න විධායක බලය බෙදාහැරීම පිළිබඳ වන තර්කයි. මේ තුළින් රාජ්‍යයේ ඒකීය භාවයට වන බලපෑම හා එමඟින් 2වන ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවට තහවුරු කිරීමට වනසුන්දර වි.  උත්සහ කරඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්වභාවයෙන්ම වෙනස්කළ නොහැකි අංග
වනසුන්දර වි. විසින් පරමාධිපත්‍ය බලය, ඒකීයභාවය, ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුක්‍රමය, ඡන්ද බලය, මූලික අයිතිවාසිකම් හා අධිකරණ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්වභාවයෙන්ම වෙනස්කළ නොහැකි අංග ලෙස ප්‍රකාශ කිරීමට උත්සහකර ඇත. ඔහු පවසන්නේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් කරුණු 82(7) ව්‍යවස්ථාවේ දැක්වෙන ව්‍යවස්ථා සංශෝධන ආකාරයන් ගණයට නොවැටෙන බවයි. කේසවනන්දා භාරතී එ, කේරළ ප්‍රාන්ත රජය[11] යන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ නඩුතීරණය තුළද සාකච්ඡා වී ඇති කාරණය නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික සැකැස්මට බලපාන ආකාරයේ කිසිඳු සංශෝධනයක් ගෙන ඒමට පාර්ලිමේන්තුවට බලය නැති බවයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සංශෝධනය යන්නට පරිච්ඡින්න කිරීම, වෙනස් කිරීම හා ඒකතු කිරීම ඇතුළත් වේ.

 7.     පළාත්සභා ක්‍රමය සැබෑ විසඳුමක්ද?

ලෝක දේශපාලනය තුල බලය බෙදීමේ සංකල්පය නිර්මාණය වන්නේ පාලනය කාර්යක්ෂම කරගැනීමේ අරමුණින්  වූවද ශ්‍රී ලංකාව තුළ බලය බෙදීම පිළිබඳ අදහස ඉස්මතු වන්නේ ජනවාර්ගික අර්බුදයට විසඳුමක් වශයෙනි.13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් හඳුන්වා දුන් පළාත් සභා ක්‍රමයේ මූලික අරමුණ වූයේ මෙරට ජනවාර්ගික අර්බුදයට විසඳුමක් සෙවීම හා අදාල පළාත තුල වාසය කරන ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය (Self-Determination) තහවුරු කිරීමයි. 13 වන ආණ්ඩුක්‍රමව්‍යවස්ථා සංශෝධනය හා පළාත් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීරණයේදී සාකච්ඡාවට බඳුන් වූ ප්‍රධානතම ගැටළුව වන්නේ පළාත් සභා වෙත බලය බෙදීම හරහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යුහයට එනම් ඒකීය ස්වභාවයට හානි වන්නේද? යන්නයි. ඒ අනුව විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ යන ත්‍රිවිධ බලතල බෙදාහැරීම පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය පරික්ෂා කෙරුණි.
මෙහිදී බහුතර මතය වූයේ පළාත්සභා ක්‍රමය මඟින් රාජ්‍යයේ ඒකීය ව්‍යුහයට බලපෑමක් නොවන බවයි. ඒ අනුව පළාත් සභා ක්‍රමය  යනු ෆෙඩරල් ක්‍රමයකට ගමන් කිරීමක් නොව ඒකීය රාජ්‍යයක් තුළ සිදුකරන ලද බලය බෙදීමක් පමණි.
මේ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී සාකච්ඡා වූයේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය මිස එතුළින් ජනවාර්ගික ගැටලුව වෙත නිසි විසඳුමක් සැපයෙන්නේද? යන්න පිළිබඳ නොවේ. මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සිය ලිපිය තුළ ආරම්භයේ සිටම පැහැදිලි කිරීමට උත්සහ කර ඇත්තේ ශ්‍රී ලංකාව තුළ බලය බෙදීමේ ක්‍රියාවලියේ අරමුණ විය යුත්තේ ඊට මූලික වන ගැටලුවට විසඳුමක් සෙවීම උදෙසා වන බවයි.
පළාත්සභා, සමගාමී හා සංවෘත යනුවෙන් ලැයිස්තු 3ක් මඟින් බලය බෙදාහැර තිබුණද පැහැදිලිවම තවදුරටත් පළාත් සභා වලට වඩා වැඩි බලතල ප්‍රමාණයක් මධ්‍යම රජය භුක්ති විඳී. පළාත් සභා ලැයිස්තුවේ සඳහන් ඉඩම් හා පොලිස් බලතල තමන්වෙත රඳවාගැනීමට මධ්‍යම රජය කටයුතු කිරීම ඊට හොඳම උදාහරණයකි.
ඒ අනුව පළාත් සභා වෙත බලය බෙදාහැරීමේ අරමුණු නිසි පිරිදි ඉටුවන්නේද? යන්න තවදුරටත් ගැටළු සහගතය.




[1] 1947 සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 29(1), 29(2) හා 29(3) ව්‍යවස්ථා
[2] 1948 අංක 18
[3] 1956 අංක 33
[4]1987 අංක 42
[5] 13 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය. වගන්ති 4 හා 7
[6] In Re The Thirteenth Amendment To The Constitution And The Provincial Councils Bill
[7] 154 (උ) 1, 9 වන උපලේඛණය
[8] 154 (ආ) හා 154 (ඊ)
[9] Dr Wheare , "Modern Constitutions" page 19 / In Re The Thirteenth Amendment To The Constitution And The Provincial Councils Bill – 319/320
[10] Provincial autonomy within a unitary constitutional framework: the Sri Lankan crisis.
[11] Kesavananda Bharati v State of Kerala (AIR 1973 635-473)

සැකසුම: කුසල් කාවින්ද අමරසිංහ විසිනි.
Share on Google Plus

Copyright Information

No part of this article (excluding images) may be reproduced, stored in or introduced into a retrieval system, or transmitted, in any form or by any means (electronic, mechanical, recording or otherwise), without the prior permission. Images on this article belong to their respective owners.
    Blogger Comment
    Facebook Comment

0 Comments :

Post a Comment