උඩතලවින්න දස පුද්ගල මිනීමැරුම

(ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ තවත් එක් නොවිසඳුණු අපරාධයක්)

ශ්‍රේෂ්ඨාධිකරණ නඩුතීරණයෙන් පසු චූදිතයන් අධිකරණ භූමියෙන් පිටව ගිය අයුරු.
ලෝකයේ සැඟවුණු අපරාධ අසීමිතය. වින්දිතයන්ට යුක්තියක් ඉටු නොවී වරදකරුවන් තවමත් නිදැල්ලේ සිටින අපරාධ අප්‍රමාණය. ඇතැම් වරදකරුවන් නිදහස් වන්නේ නීතියේ පවතින දෘඩතාවයන් හේතුවෙනි. ඇතැමුන් නීතිය ඉදිරියේ වරදකරුවන් නොවන්නේ ධනයට හෝ බලයට නීතිය නැවීමට ඔවුන්ට ඇති හැකියාව නිසාය. නීතිය 100%ක් පාරිශුද්ධ හෝ විචක්ෂණශීලී නොවේ. නීතියේ ඇති අනන්ත සිදුරු අතරින් දක්ෂ අපරාධකරුවකුට හෝ අපරාධකරු වෙනුවෙන් අධිකරණයේදී පෙනීසිටින දක්ෂ නීතීඥයකු හට රිංගා යාමට නොහැකි යැයි පැවසිය හැක්කේ කා හටද..? අප ජීවත් වන්නේ තවමත් අතිශය සුසාධිත නොවූ සමාජ ක්‍රමයක් තුළය. එවැනි සමාජ ක්‍රමයක් තුළ අපට නොතේරෙන, නොවැටහෙන දෑ බොහෝය. අප එවැනිදෑ බලාපොරොත්තු විය යුතුය.
ශ්‍රී ලංකාව තුල ද නෙවිසඳුණු අපරාධ ලැයිස්තුව වඩාත් දීර්ඝ වූ එකකි. ඉන් බොහෝමයක් දේශපාලනික අපරාධ(Political Crimes) ගණයෙහි ලැ සැලකිය හැක. ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය ලේ තැවරුණු එකකි. ඉන් වඩාත් සාහසික වාර්තාවක් ලෙස ‘උඩතලවින්න දසපුද්ගල ඝාතනය‘ හඳුනාගත හැක. අද වන තුරු මෙම ඝාතනය සිදුකළ අපරාධකරුවන් කවුරුන්ද යන වග නීතිය ඉදිරියේ තහවුරු වී නොමැත.

උඩතලවින්න දස පුද්ගල මීනිමැරුම් සිද්ධිය...
2001 දෙසැම්බර් 05 දා පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී මහනුවර උඩතලවින්නේදී මුස්‌ලිම් ජාතික තරුණයන් 10 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා විය.  එම ඝාතන සිදුකර තිබුණේ අර්ධ ස්වයංක්‍රීය ටී.56 ගිනිඅවි වලින් බවට පරීක්ෂණ මඟින් තහවුරු විය. ඉතා සාහසික අයුරින් ඝාතනය කර තිබූ මෙම පුද්ගයන්ගේ සිරුරු වෑන්රථයක තිබී සොයාගනු ලැබීය. සිද්ධියට සැක පිට  අත්අඩංගුවට ගනු ලැබු හිටපු වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයකු වූ අනුරුද්ධ රත්වත්තේ, ඔහුගේ පුත් ලොහාන් රත්වත්තේ හා චානුක රත්වත්තේ ඇතුලු සැකකරුවන් 15ක් (මෙම සැකකරුවන් ආරක්ෂක අංශවලට සම්බන්ධ වූවන් ලෙස හඳුනාගනු ලැබුණි.) හට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේදී නඩුපවරනු ලැබීය.

මහාධිකරණ නඩුතීරණය...
ආරම්භයේදී දීපාලි විජේසුන්දර, සුනිල් රාජපක්ෂ හා එරික් බස්නායක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාග කෙරුනු මෙම නඩුව පසුව ද්විපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාගයට ගැනුනි. නීතිපතිවරයා විසින් මෙම හිටපු ආරක්‍ෂක ඇමැති ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ සහ ඔහුගේ පුත්‍රයන් දෙදෙනා ඇතුළු විත්තිකරුවන් 15 දෙනකුට මිනීමැරීම සම්බන්ධව අධිචෝදනා ගොනුකරනු ලැබුණි. 2006 වසරේ ජනවාරි 20 දා මහාධිකරණය විසින් රත්වත්තේවරු තිදෙනා ඇතුලු චූදිතයන් 10කු චෝදනා වලින් නිදොස් කරනු ලැබීය. එනම් රංජිත් විජේරත්න, කමල් විජේරත්න, සුනිල් ඩි.සිල්වා, අනුර කුමාර, බුද්ධි සුරංග දිසානායක, නිශාන්ත කුරුප්පු, ක්‍රිෂාන් විජේරත්න,සේන විජේසේකර, නලීන් වසන්ත රත්ගම සහ කිංස්ලි විතාරන යන හිටපු යුද්ධ හමුදා සාමාජිකයන් මෙලෙස මිනීමැරුම් චෝදනා වලින් නිදහස් විය. W.M.R. බණ්ඩාර, H.M සුනිල් චන්ද්‍රසිරි, G.H.G කමල්, E.A කුමාර, D.M.B. සුරංග දිසානායක යන සෙසු චූදිතයන් පස්දෙනා  මිනීමැරුම් චෝදනාවට වරදකරුවන් කොට මරණීය දණ්ඩනය නියම කරන ලදී. අදාළ තීන්දුව ප‍්‍රකාශ කළ මහාධිකරණය මිනී මැරීමට අදාළ චෝදනා පහකට සහ මිනී මැරීමට තැත් කිරීමට අදාළ චෝදනා පහකට වශයෙන් චෝදනා 10 කට විත්තිකරුවන් වැරදිකරුවන් බවට තීන්දු කෙළේ ය. මරණීය දණ්ඩනයට අමතරව මෙම වරදකරුවන් හට එක් අයකුට වසර 100 බැගින් වූ සිරදඬුවම් ද නියම විය.


ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචන නඩුතීන්දුව...
මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබූ චූදිතයන් පස්දෙනා එම තීරණය පිළිබඳ නැවත සලකාබලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ගොනු කරන ලදී. එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාත්, රජයේ ජේෂ්ඨ නීතීඥ ඇලන් ඩේවිඩ් මහතාත්, රජයේ නීතීඥ චන්දිම වික්‍රම මහතාත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතර විත්තිකාර අභියාචකයන් පස්දෙනා වෙනුවෙන් අනිල් සිල්වා හා චන්දික පීරිස් යන නීතීඥ මහතුන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටින ලදී. අභියාචනාව අගවිනිසුරු අශෝකා ද සිල්වා, විනිසුරු P.A. රත්නායක, විනිසුරු නිමල් ගාමිණි අමරතුංග, විනිසුරු ජගත් බාලපටබැඳි හා විනිසුරු චන්ද්‍රා එක්නායක යන මහත්ම මහත්මින්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාගයට ගැණුනි.
මෙහිදී අභියාචක පාර්ශවයේ මූලික තර්කය වූයේ චූදිතයන් හට විරුද්ධව ඇති සාක්ෂි එකිනෙකට පරස්පර වීමයි. එහිදී සාක්ෂිකරුවන් විසින් විත්තිකාර අභියාචකයන් හඳුනාගැනීමේදී තහවුරු කිරීම් පරස්පර වීම මත ‘පිළිගතහැකි සාක්ෂි‘ ලෙස ඇසින් දුටු සාක්ෂි භාරගත නොහැකි බව තර්ක කෙරුණි.
මහාධිකරණ නඩුතීරණයේදී සාක්ෂි ආඥා පනතේ 45 වගන්තියේ ප්‍රතිපාදන අනුව ‘විශේෂඥ දැනුම‘ යටතේ සිද්ධිය වූ ස්ථානයේදී සොයාගනු ලැබූ අනෙකුත් පරිවේෂණීය සාක්ෂි මත විශේෂඥයන් විසින් ලබාදුන් අදහස් පිළිගත් අතර සිද්ධිය වූ ස්ථානය ආසන්යේ ජීවත්වූ නිවැසියකු වූ සේපාලිකා වේරගොඩ විසින ලබා දුන් සාක්ෂි ද මහාධිකරණය විසින් පිලිගතහැකි සාක්ෂි ලෙස භාර ගන්නා ලදී.
කෙසේ නමුත් රජයේ රසපරීක්ෂකවරයා විසින් සිය වාර්තාව අපක්ෂපාතී ආකාරයෙන් ලබා දී නොමැති බවත් එබැවින් සාක්ෂි ආඥා පනතේ 45 වගන්තිය යටතේ ‘විශේෂඥ දැනුම‘ යටතේ එම වාර්තාව පිලිගත නොහැකි බව අභියාචක පාර්ශවය විසින් තර්ක කරනු ලැබීය. මෙහිදී පැරණි අධිකරණ තීරණ රැසක් ගෙනහැර දක්වමින් අභියාචකයන් පැවසුවේ ‘විශේෂඥ දැනුම‘ යටතේ අදාල විශේෂඥයාගේ පෞද්ගලික අදහස් සාක්ෂි ලෙස භාවිතා කළ නොහැකි බවයි(රැජිණ එ, විජේහාමි 62 න.නි.ව 425)  විනිසුරුවරයා විසින් කිසිසේත්ම සිය බලතල අදාල විශේෂඥයා වෙත නොපැවරිය යුතු බවත්, විශේෂඥයාගේ පෞද්ගලික අදහස් සාක්ෂි ලෙස විනිසුරුවරයා විසින් පිළිනොගත යුතු බවටත්(සයිබු එ, අහමදු 50 න.නි.වා 104) මහාධිකරණ තීරණය විවේචනය කරමින් අභියාචකයන් තර්ක කරන ලදී. අජිත් සමරකෝන එ. නීතිපති (කොබෙයිගනේ නඩුව) (2004 2 SLR 2009) නඩුතීරණය පාදක කරගනිමින් ඔවුන් තවදුරටත් තර්ක කරනු ලැබුවේ විශේෂඥ දැනුම යටතේ යොදාගන්නා සාක්ෂි අධිකරණය විසින් වඩාත් සැලකිලිමත් ලෙස අදාල කරගත යුතු බවටයි. තවද මහාධිකරණය විසින් පිළිගන්නා ලද ඇසින්දුටු සාක්ෂි පරස්පර භාවයකින් යුක්ත වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ තර්ක කෙරුණි. එම ඇසින් දුටු සාක්ෂි පරස්පරතාවෙන් යුතු අතර පිළිගත නොහැකි බවට ප්‍රභල තර්ක ගොඩනැඟීමට පෙත්සම්කරුවන් සමත් විය. එමෙන්ම අභියාචක පාර්ශවය ඉදිරිපත් කළ තවත් කරුණක් වූයේ අදාල සිද්ධිය වූ වේලාවේදී එම සිද්ධිය වූ ස්ථානයේ මෙම විත්තිකාර අභියාචකයන් රැඳී නොසිටි බවයි. මෙය සාක්ෂි නීතිය තුළ ‘අන්ස්ථානිකභාවය‘(alibi) සෙ හඳුන්වයි. එසේම මහාධිකරණය දඬුවම් නියම කිරීමේ දී හඳුනා ගැනීමේ පෙරට්ටුව සැලකිල්ලට ගෙන ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරන්නේ හඳුනා ගැනීමේ පෙරට්ටුවකදී හඳුනා ගත් පමණින් විත්තිකරුවන් වරදකරුවන් කොට දඬුවම් නියම කළ නොහැකි බවයි. මේ අනුව අභියාචක පාර්ශවයේ තර්ක පිළිගනු ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනාව පිළිගනු ලැබූ අතර මහාධිකරණ නඩුතීන්දුව නිශ්ප්‍රභ කරමින් අදාල විත්තිකාර අභියාචකයන් පස්දෙනා සියළු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලදී. ඒ අනුව 2009 ජූලි 24 දින ‘උඩතලවින්න දස පුද්ගල මිනීමැරුමට‘ වරදකරුවන් ලෙස මරණීය දණ්ඩනයට නියම වී සිටි විත්තිකරුවන් පස්දෙනාම මරණීය දඬුවමින් නිදහස් කරන ලදී.
මහාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුවක් නිශ්ප්‍රභ කරමින් ඊට ප්‍රතිවිරුද්ධ අභියාචන නඩුතීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් අවස්ථාවක් ලෙස ‘උඩතලවින්න ඝාතන අභියාචනා නඩුතීරණය‘ හඳුනාගත හැක. මෙහිදී වඩාත් විවාදිත කරුණ වන්නේ මහාධිකරණය විසින් මූලික කරගනු ලැබූ සාක්ෂි පදනම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොවැදගත් ලෙස නොසලකා හැරීමයි. චෝදනා වලින් චූදිතයන් නිදොස් කිරීමට ඔවුන්ට විරුද්ධව ඇති සාක්ෂි නොගැලපීම හා අන්ස්ථානික භාවය යන කාරණා අධිකරණය විසින් අදාල කරගන්නා ලදී.
කෙසේ වෙතත් අදවන තුරු මෙම සමූහ ඝාතනයට වගකිවයුතු කිසිවකුත් අධිකරණය ඉදිරියේ වරදකරු වී නොමැත. එනම් ‘උඩතලවින්න සිද්ධිය‘ තවදුරටත් නෙවිසඳුණු අපරාධයකි. ඇතැමුන් පවසන්නේ සාක්ෂිකරුවන් බියවැද්දීම වැනි බලපෑම් මත සාක්ෂි පරස්පරවීම සිදු වූ බවය. තවද ප්‍රභල දේශපාලන පවුලක නම් ගම් ඈඳුනු සිද්ධියක් වූ බැවින් අපරාධය යටපත්කිරීමට අදිසි හස්තයක් අධිකරණයට බලපෑම් කළා විය හැක. කෙසේ වෙතත් අද වන තුරු ඝාතනයට ලක් වූ වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉටුවී නොමැත. අධිකරණ ක්‍රියාවලියේ දෘඩභාවය නිසා අපරාධකරුවන් තවමත් නිදැල්ලේය. අනාගතයෙදී යම් දවසක මේ ඝාතනය පිලිබඳ කතිකාවතක් නැවත අරම්භ වන්නේ නම් එය මියගිය අහිංසකයන්ට සිදුකරන සාධාරණයකි.

මූලාශ්‍ර
·         නව නීති වාර්තා
·         ශ්‍රී ලංකා නීති වාර්තා
·         පුවත්පත් - .2009/07/25 ‘දිනමිණ‘/.2009/07/26 ‘The Nation


(විශේෂ ස්තූතිය - ‘උඩතලවින්න දසපුද්ගල මිනීමැරුම් සිද්ධිය‘ පිළිබඳ ගවේෂණයට මා උනන්දු කළ මා මිත්‍ර මාධ්‍යවේදී බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න සහෝදරයාට)

සැකසුම: කුසල් කාවින්ද අමරසිංහ විසිනි.
Share on Google Plus

Copyright Information

No part of this article (excluding images) may be reproduced, stored in or introduced into a retrieval system, or transmitted, in any form or by any means (electronic, mechanical, recording or otherwise), without the prior permission. Images on this article belong to their respective owners.
    Blogger Comment
    Facebook Comment

0 Comments :

Post a Comment