ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' පිලිබඳ නීති තත්ත්වය.


Image result for ශ්‍රේෂ්ඨාධිකරණය


අධිකරණයට අපහාස කිරීම යනු කුමන ආකාරයක වරදක්ද? යන්න ශ්‍රී ලංකාවේ දණ්ඩන නීතිය තුල නිශ්චිත ලෙස දක්වා නැත. දණ්ඩ නීති සංග්‍රහය හෝ අපරාධ නඩු විධාන සංග්‍රහය මෙම කරුණ පිලිබඳ නිහඬ වූවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1978 අංක 02 දරණ අධිකරණ සංවිධාන පනතේ ප්‍රතිපාදන තුලින් අධිකරණයට අපහාස කිරීම පිලිබඳ නීති තත්ත්වය විග්‍රහ කරනු ලබයි.

Image result for ශ්‍රේෂ්ඨාධිකරණය
ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නිල ලාංඡනය
අධිකරණයට අපහාස වන ආකාරයේ ක්‍රියා මොනවාද?

අධිකරණයට අපහාස වන ආකාරයේ ක්‍රියා මොනවාද? යන්න පිලිබඳ නිශ්චිත අර්ථනිරූපණයක් ශ්‍රී ලංකාවේ කිසිඳු හරයාත්මක සහ කාර්යපටිපාටික නීතියක දක්වා නැත. එහෙත් අධිකරණය හෑල්ලුවට ලක්කරන හෝ එහි ගරුත්වය කෙලෙසන ඕනෑම ක්‍රියාවක් හෝ නොකරහැරීමක් අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැලකිය හැකිය. ඒ අනුව,
  • ජනතාව ඉදිරියේ අධිකරණයේ ගරුත්වයට හානිවන ආකාරයේ ඕනෑම ක්‍රියාවක්
  • අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීම
  • අධිකරණ නියෝගයක් අභියෝගයට ලක් කිරීම (අභියාචනයක් ඉදිරිපත් කිරීම නොවේ)
  • අධිකරණය තුළ නොහික්මුණු හැසිරීම
  • සමස්ත අධිකරණයටම හෝ සියලු විනිසුරුවරුන්ට නිගරුවන අන්දමේ ප්‍රකාශ හෝ හැසිරීම්

ආදී ක්‍රියාවන් අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැලකිය හැකිය. 

අධිකරණයට අපහාස කිරීම පිලිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ප්‍රතිපාදන මොනවාද?

1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XV පරිඡේදයේ අධිකරණ ධුරාවලිය සහ බලතල පිලිබඳ දැක්වේ. මේ අනුව 105(3) ව්‍යවස්ථාව තුල අධිකරණය වෙත අපහාස කිරීම පිලිබඳ නීති තත්ත්වය විග්‍රහ කර ඇත. එම ව්‍යවස්ථාව අනුව,

 ශ්‍රි ලංකා ජනරජයේ  ශ්‍රේෂ්ඨාධිකරණය සහ ශ්‍රී ලංකා ජනරජයේ අභියාචනාධිකරණය යන එක් එක් අධිකරණය ලේඛනෝපගත කිරීමේ  ජ්‍යේෂ්ඨ අධිකරණයක් වන්නේය. අධිකරණයේදීම නැතහොත් අන් ස්ථානයක දී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අභියාචනාධීකරණය සුදුසු යැයි සලකන පරිදි බන්ධනාගාරගත කිරීමෙන් හෝ දඩයකින් හෝ බන්ධනාගාරගත කිරීම සහ දඩය යන දඬුවම් දෙකින් ම හෝ දඬුවම් කිරීමේ බලයද ඇතුළුව එබඳු අධිකරණයක සියලු බලතල ඒ අධිකරණයන්ට ඇත්තේය. අභියාචනාධිකරණයේ බලයට මේ ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාවේ (ඇ) ඡේදයේ සඳහන් වෙනත් යම් අධිකරණයකට, විනිශ්චය අධිකාරියකට හෝ ආයතනයකට, ඒ අධිකරණය, විනිශ්චය අධිකාරිය හෝ ආයතනය ඉදිරියේ දී ම හෝ අන් ස්ථානයකදී හෝ අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් කිරීමේ බලයද ඇතුලත් වන්නේ ය. එසේ වූව ද එබඳු යම් අධිකරණයකට, විනිශ්චය අධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් කිරීමට ඒ අධිකරණයට, විනිශ්චය අධිකාරියට නැතහොත් ආයතනයට කවර වූ හෝ නීතියකින් දැනට පැවරී ඇති හෝ මතුවට පැවරෙන අයිතියට මෙම ව්‍යවස්ථාවේ මීට ඉහතින් වූ විධිවිධාන වලින් හානියක් හෝ බලපෑමක් නොවන්නේ ය.“
එහෙත් අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල ද අධිකරණය වෙත අපහාස විය හැකි ක්‍රියාවන් හෝ නොකරහැරීම් යනු මොනවාද? යන්න පිලිබඳ අර්ථනිරූපණය කර නොමැත. කෙසේ වෙතත් ඉහත සාකච්ඡා කර ඇති පරිදි, අධිකරණ පද්ධතියට හෝ නීතියට අපහාසයක් සිදු වන ආකාරයේ ඕනෑම ක්‍රියාවක් හෝ නොකරහැරීමක් අධිකරණයට අපහාස කිරීමක් ලෙස අර්ථනිරූපණය කළ හැකිය.


අධිකරණයට අපහාස කිරීම පිලිබඳ 1978 අංක 02 දරණ අධිකරණ සංවිධාන පනතේ ඇති විධිවිධාන මොනවාද?

1978 අංක 02 දරණ අධිකරණ සංවිධාන පනතේ 18 වන වගන්තිය අනුව මහාධිකරණ වෙතද, 55(1) වගන්තිය අනුව දිසා අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ සහ ප්‍රාථමික අධිකරණ වෙත ඒ ඒ අධිකරණ වෙත සිදු කළ අපහාසයන් පිලිබඳ දඬුවම් නියම කිරීමේ බලය පවතී.

පනතේ 18 වන වගන්තිය අනුව මහාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන පුද්ගලයෙකුට වසර පහකට අඩු බරපතල හෝ බරපතල නොවන සිර දඬුවමක් හෝ රුපියල් 5000 කට අඩු දඩයක් හෝ ඒ දඬුවම් දෙකම නියම කිරීමේ බලය මහාධිකරණයට පවතී.

55(2) අ.වගන්තිය අනුව,දිසා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසර දෙකක් දක්වා බරපතල හෝ බරපතල නොවන සිර දඬුවමක් හෝ රුපියල් 2500 කට අඩු දඩයක් හෝ එම දඬුවම් දෙකම නියම කිරීමේ බලය දිසා අධිකරණයට පවතී.

55(2) ආ. වගන්තිය අනුව මහේස්ත්‍රාත් අධිකරණයට සිදු කරන අපහාසයක් සම්බන්ධව මාස දහ අටක් නොඉක්මවන කාලයකට බන්ධනාගාරගත කිරීමක් හෝ රුපියල් 1500 නොඉක්මවන දඩයක් හෝ එම දඬුවම් දෙකම නියම කිරීමේ බලය මහේස්ත්‍රාත්වරයා වෙත පවතී.

55(2) ඇ. වගන්තිය අනුව ප්‍රාථමික අධිකරණයකට සිදු කරන අපහාසයක් පිලිබඳව මාස තුනක් නොඉක්මවන බන්ධනාගාරගත කිරීමක් හෝ රුපියල් 500 නොඉක්මවන දඩයකට හෝ යටත් කළ හැකිය.

මෙම අධිකරණයන් වෙත සිදු කරන ඕනෑම අපහාසයක් පිලිබඳ අභියාචනාධිකරණය හෝ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) ව්‍යවස්ථාව අනුව දඬුවම් නියම කිරීමේ බලය පවතී. එහිදී මෙම අධිකරණ සංවිධාන පනතේ දක්වා ඇති සීමාවන්ට අභියාචනාධිකරණය හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හෝ යටත් නොවේ.

අධිකරණයට අපහාස නොවන ආකාරයේ ක්‍රියා මොනවාද?
අධිකරණයට අපහාස කිරීම පිලිබඳ නීති තත්ත්වය තුල කිසිඳු අවස්ථාවක දී  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) අ. ව්‍යවස්ථාව යටතේ තහවුරු කර දී ඇති භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහස සීමා කරනු ලබන්නේ නැත. 

එහෙත් 15 වන ව්‍යවස්ථාව යටතේ දක්වා ඇති මූලික අයිතිවාසිකම් බුක්තිවිඳීමේ සීමාවන්ට යටත්ව 
අධිකරණය විවේචනය කිරීමේ නිදහස පුරවැසියන් වෙත පවතී.

ඒ අනුව,
  • අධිකරණ තීරණයක නෛතික කාරණා පිලිබඳ විවේචනය කිරීම හෝ අදහස් දැක්වීම.
  • අධිකරණ ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිලිබඳ විවේචනය කිරීම.
  • විනිසුරුවරයකුට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීම.
  • අධිකරණයට අපහාස නොවන ආකරයට මූලික අයිතින් බුක්ති විඳීම.
  • අධිකරණ ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට යෝජනා සිදුකිරීම.

වැනි කරුණු අධිරකණයට අපහාස කිරීම් ලෙස සලකන්නේ නැත. 

අධිකරණයට අපහාස කිරීමේ නීතිය අදාල වන්නේ කාටද?
අධිකරණයේ ගෞරවය සහ අභිමානය කෙළෙසන ආකාරයේ ඕනෑම ක්‍රියාවක් සිදුකිරීම අධිකරණයට අපහාස කිරීමකි. ඒ අනුව අධිකරණ ක්ෂේත්‍රයේ කටයුතු කරන නිලධාරීන් විසින් සිදුකරන එවැනි ක්‍රියාවක් තුලින් අධිකරණය වෙත අපහාසයක් වන්නේ නම් ඔවුන් ද අධිකරණයට අපහාස කරනු ලැබූ බව සැලකිය යුතුය.

අධිකරණයට අපහාස කිරීම පිලිබඳ ගැටලුවකදී අධිකරණය අනිවාර්යයනේම ස්වභාවික යුක්ති මූලධර්ම මත පිහිටා කටයුතු කළ යුතුය. 

ස්ත්‍රී දූෂණ චෝදනා ලැබූ මහව මහේස්ත්‍රාත් ලෙනින් රත්නායකගේ ක්‍රියාකලාපය පිලිබඳ අධිකරණ සේවා කොමිසම විසින් ගනු ලැබූ පියවර පිලිබඳ අදටත් විවේචන පවතී. එමෙන් ම හිටපු  අගවිනිසුරුවරයකු වන සරත් නන්ද සිල්වා විසින් එමානුවෙල් ප්‍රනාන්දු යන අයට එරෙහිව 2003 වසරේදී, අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධව ලබා දුන් තීරණය සහ අනතුරුව බන්ධනාගාරයේදී බන්ධනාගාර නිලධාරීන් විසින් එම තැනැත්තා වෙත පහර දීම යන කාරණාව මත අදාල පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාව යටතේ වධහිංසාවන්ගෙන් මිදීමේ නිදහස) උල්ලංඝණය වීම හේතුවෙන් 2008 වසරේ දී ශ්‍රේ්ෂ්ඨාධිකරණය විසින් වන්දි ප්‍රදානය කිරීමට නියෝග කරන ලදී. මෙහිදී සරත් නන්ද සිල්වා ලබාදුන් තීරණය තුල ස්වභාවික යුක්ති මූලධර්ම උල්ලංඝණය කිරීමක් වූ බවට තහවුරු විය.

Related image
එස්.බී දිසානායක
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව හිටපු අමාත්‍ය එස්.බී දිසානායක හට දෙවසරක සිර දඬුවමක් නියම කිරීම සහ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලබොඩඅත්තේ ඥාණසාර හිමි හට වසර 6න් ගෙවී යන ලෙස වසර 19 සිරදඬුවමක් නියම කිරීම අධිකරණට අපහාස කිරීම පිලිබඳ දඬුවම් නියම කළ වැදගත් නඩු තීරණ ලෙස සැලකිය හැක. 

Image result for ගලබොඩ අත්තේ
ගලබොඩඅත්තේ ඥාණසාර හිමි අධිකරණ භූමියේ කලහාකාරී ලෙස හැසිරීම
අධිකරණයට අපහාස කිරීම පිලිබඳ නීතිය නිශ්චිතව අර්ථ දක්වා නොමැති බැවින් ශ්‍රී ලංකා නීති කොමිසම විසින් 2008 වසරේ දී, මේ පිළිබඳ නීති කෙටුම්පතක් සම්පාදනය කරන ලදි. ඒහෙත් ඒ සඳහා අද වනතුරු කැබිනට් අනුමැතිය හිමි වී නැත. 

නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධිනතාවය ආරක්ෂා වීමට නම් අධිකරණයට අපහාස කිරීමට එරෙහි නීති තත්ත්වය වඩාත් විධිමත් ආකාරයෙන් ක්‍රියත්මක විය 
යුතු අතර යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සර්වසාධාරණ වීමට එය වඩාත් උපකාරී වනු ඇත.

සැකසුම: කුසල් කාවින්ද අමරසිංහ විසිනි.
Share on Google Plus

Copyright Information

No part of this article (excluding images) may be reproduced, stored in or introduced into a retrieval system, or transmitted, in any form or by any means (electronic, mechanical, recording or otherwise), without the prior permission. Images on this article belong to their respective owners.
    Blogger Comment
    Facebook Comment

0 Comments :

Post a Comment